• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර රාජකාරි කටයුතු සඳහා පහසුකම් සැලසීම
- දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි තෝරාගත් සංවේදී පරිසර පද්ධති කිහිපයක් සංරක්ෂණය කිරීම සහ එම පරිසර පද්ධති තිරසර ලෙස කළමනාකරණය තුළින් ඒ ආශ්‍රිතව ජීවත්වන ප්‍රජාව වෙත ප්‍රතිලාභ සැලසීමේ අරමුණින්, ජාත්‍යන්තර සංවර්ධන සමායතනයේ (IDA) සහාය ඇතිව 'පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය' (Ecosystem Conservation and Management Project - ESCAMP) ක්‍රියාවට නංවනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ සිංහරාජ, නකල්ස්, කන්නෙලිය හා හුරුලු යන රක්ෂිතයන් සහ යාල - ලුණුගම්වෙහෙර, බූන්දල, උඩවලව හා ගල්ඔය යන ජාතික උද්‍යානයන් ඒ ආශ්‍රිතව ජීවත්වන ජනතාවගේද සහභාගිත්වය සහිතව සංරක්ෂණය කෙරෙනු ඇත.

ඒ අනුව, මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හා තිරසර සංවර්ධන ලේකම් කාර්යාලයේ ආයතනික හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් එම ආයතනවල ක්ෂේත්‍ර රාජකාරි කටයුතු සඳහා අවශ්‍ය වාහන මිල දී ගැනීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.