• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාසල් සිසුන් සඳහා සාමූහික සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා දීම
- වයස අවුරුදු 05 සිට 19 දක්වා වයස් කාණ්ඩයේ පසුවන මිලියන 4.5ක් වූ මෙරට පාසල් දරුවන් සියලු දෙනාම වෙනුවෙන් රුපියල් 200,000/-ක් වටිනා රක්ෂණාවරණයක් බැගින් නොමිලේ ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා 2017 රජයේ අයවැය මඟින් රුපියල් මිලියන 2,700ක් වෙන් කරනු ලැබ තිබේ. යෝජිත රක්ෂණාවරණය මඟින් බාහිර ප්‍රතිකාර සඳහා රුපියල් 10,000/-ක් සහ රෝහල්ගත වීමකදී රුපියල් 100,000/-ක් දක්වා ආවරණය සැලසෙනු ඇත. ඊට අමතරව පාසල් දරුවෙකුගේ හදිසි මරණයකදී දෙමව්පියන්ට රුපියල් 100,000/-ක්ද, සිය මවගේ හෝ පියාගේ හදිසි මරණයකදී පාසල් දරුවාට රුපියල් 75,000/-ක්ද මෙම රක්ෂාණාවරණය මඟින් ගෙවනු ලබයි. තවද, පාසල් දරුවා පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වීමකදී රුපියල් 100,000/-ක්ද, අර්ධ ආබාධිත තත්ත්වයකට පත්වීමේදී රුපියල් 50,000/- සිට 100,000/- දක්වාද මේ යටතේ වන්දි ලබාගත හැකි වේ.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 2,348ක වාර්ෂික වාරිකයකට යටත්ව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව (Sri Lanka Insurance Corporation Ltd.) මඟින් මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.