• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සේවාවේ හා පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන වෑන් රථ සේවාවේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව 2016 වර්ෂයේ අවසානය වන විට මෙරට ලියාපදිංචි ත්‍රිරෝද රථ සංඛ්‍යාව ලක්ෂ එකොළහකට අධික වන අතර, පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ කාර්යයේ යොදවනු ලැබ ඇති වෑන් රථ සංඛ්‍යාව 30,000කට අධික බව වාර්තා වී ඇත. දැනට නිසි නියාමනයක් නොමැතිව අවිධිමත් ලෙස ක්‍රියාත්මක වන මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සේවාවේ හා පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන වෑන් රථ සේවාවේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද නිලධාරි කමිටුවේ නිර්දේශ පරිදි පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි මෙම විෂය ක්ෂේත්‍රය පළාත් සභාව සතු විෂයක් ලෙස සලකා කටයුතු කිරීම.

මෙම ප්‍රවාහන සේවාවන් දෙකෙහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා වන අවම ප්‍රමිතීන් ඇතුළත් උපදෙස් හා නීතිරීති මාලාවක් සැකසීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දීම පිණිස ජාතික තාක්ෂණික කමිටුවක් ස්ථාපිත කිරීම.

ආරක්ෂිත බවෙන් අඩු ප්‍රවාහන මාධ්‍යයක් ‍වන ත්‍රිරෝද රථ භාවිතය අඩු කරමින්, ආරක්ෂාකාරී කුලී රථ භාවිතය සඳහා අනුබල දීමේ ප්‍රවේශයක් පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් රජයේ දිගුකාලීන ප්‍රතිපත්තිය යටතේ අනුගමනය කිරීම.