• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු මැතිවරණ පාර්ශ්වකරුවන්ගේ සිව්වන සමුළුව - 2018
- 'නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලය' (Asian Network for Free Elections), ආසියානු කලාපයේ රටවල්වල මැතිවරණ සම්බන්ධයෙන් පොදුවේ පවතින ගැටලු හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීමට සහ එම රටවල්වල නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහ‍ා වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන රාජ්‍ය නොවන සංවිධානයකි. එම ජාලය විසින් සංවිධානය කරනු ලබන, ‘ආසියානු මැතිවරණ පාර්ශ්වකරුවන්ගේ සිව්වන සමුළුව’ 2018 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිණිස සමසත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් එකඟතාව පළ කරනු ලැබ තිබේ.

මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම මඟින් මෙරට මැතිවරණ ක්‍රියාවලිය තුළ ඍජුව හා වක්‍රව කටයුතු කරන රාජ්‍ය නිලධාරින්ගේ හා අනෙකුත් පාර්ශ්වයන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කරගැනීමටත්, කලාපයේ අනෙකුත් රටවල්වල අත්දැකීම් අනුසාරයෙන් ‍මෙරට ඡන්ද විමසීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම හා ඵලදායී ලෙස සිදු කිරීමට අවශ්‍ය ආයතනික ධාරිතා ප්‍රවර්ධනය ඇති කරගැනීමටත් අවස්ථාව සැලසෙනු ඇත. ඒ අනුව, ආසියානු මැතිවරණ පාර්ශ්වකරුවන්ගේ සිව්වන සමුළුව 2018 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීම හා ඒ සඳහා සමසත්කාරකත්වය දැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව සහ නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.