• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1958 අංක 2 දරන තේ, රබර් සහ පොල් වතු (කැබලි කිරීම පාලන) පනත සංශෝධනය කිරීම
- ප්‍රමාණයෙන් හෙක්ටයාර 04කට නොඅඩු පොල් ඉඩම් සහ හෙක්ටයාර 20කට නොඅඩු තේ හා රබර් වගාවන් සහිත ඉඩම් කැබලි කිරීම පාලනය කිරීමේ අරමුණින්, 1958 අංක 2 දරන තේ, රබර් සහ පොල් වතු (කැබලි කිරීම පාලන) පනත පනවනු ලැබ ඇත. එහි විධිවිධාන අනුව, එවැනි ඉඩම් කැබලි කිරීමේදී හෝ තනි ඒකකයක් ලෙස පැවරීමේදී, තේ, රබර් සහ පොල් වතු කැබලි කිරීම පාලනය කිරීමේ මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන එකඟතා සහතිකය ලබාගත යුතු වේ.

විවිධ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මෙම ඉඩම් යොදාගැනීමේදී යම් නම්‍යශීලීභාවයක් පැවතීම කාලීන අවශ්‍යතාවකි. ඒ අනුව, වාණිජ කටයුතු සඳහා, පොල් ඉඩම් කැබලි කිරීම හෝ තනි ඒකකයක් ලෙස පැවරීම සඳහා වූ සීමාව හෙක්ටයාර 02 (අක්කර 05) දක්වාත්, තේ හා රබර් ඉඩම් කැබලි කිරීම හෝ තනි ඒකකයක් ලෙස පැවරීම සඳහා වූ සීමාව හෙක්ටයාර 08 (අක්කර 20) දක්වාත් අඩු කිරීම සඳහා විධිවිධාන ඇතුළත් කරමින් 1958 අංක 2 දරන තේ, රබර් සහ පොල් වතු (කැබලි කිරීම පාලන) පනත සංශෝධනය කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.