• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1998 අංක 53 දරන ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පනත සංශෝධනය කිරීම
•- ශ්‍රී ලංකාවේ ජලජීවී වගාව ප්‍රවර්ධනය හා නියාමනය කිරීම මූලික අරමුණ කරගනිමින් 1998 අංක 53 දරන පනත යටතේ ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) පිහිටුවනු ලැබ ඇත. ජලජීවී වගාව ශ්‍රී ලංකාව තුළ වාණිජමය මට්ටමෙන් ව්‍යාප්ත කිරීමට කටයුතු ‍ෙකරමින් පවතින අතර, එයට සමගාමීව එම කටයුතු නියාමනය, සංරක්ෂණය හා කළමනාකරණය සඳහා ශක්තිමත් නෛතික රාමුවක් පැවතීම එම කර්මාන්තයේ තිරසරභාවය සඳහා අත්‍යවශ්‍ය වනු ඇත. එමෙන්ම ජලජීවී වගාව කළමනාකරණයේදී හඳුනාගනු ලැබ ඇති වැරදි හා එම වැරදිවලට දඬුවම් පැමිණවීම සඳහාත්, ජලජීවී වගාව සඳහා අවශ්‍ය ජීවීන්, ද්‍රව්‍ය හා උපකරණ ආනයනය හා මෙහෙයුම් කටයුතුවලට අදාළව බලපත්‍ර නිකුත් කිරීම වැනි කාර්යයන් සඳහාත් අවශ්‍ය වන විධිවිධාන පනතට ඇතුළත් කළ යුතුව තිබේ.

ඒ අනුව, වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි අවශ්‍ය බලතල ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියට පැවරෙන පරිදි 1998 අංක 53 දරන ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පනත සංශෝධනය කිරීමටත්, ඒ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස කමිටුවක් පත් කිරීමටත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.