• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සෞඛ්‍ය අංශයේ නව සංවර්ධන ව්‍යාපෘති
- රජය විසින් දීර්ඝ කාලයක් තිස්සේ සෞඛ්‍ය අංශයෙහි කරන ලද ආයෝජන හේතුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය දියුණු මට්ටමක් කරා ලඟා වී ඇති අතර, මේ වන විට දළ වශයෙන් නිවාරණ සෞඛ්‍ය සේවා කටයුතු 100%ක්ද, නේවාසික රෝගී සත්කාරක සේවාවේ 90% - 95%ක්ද, බාහිර රෝගී සත්කාරක කටයුතුවලින් 40% - 50%ක්ද රාජ්‍ය අංශය විසින් සිදු කරනු ලැබේ. සංවර්ධිත රටවල් හා සමානව සෞඛ්‍ය දර්ශක පවත්වාගෙන යන අතර, සෞඛ්‍ය සේවා නොමිලේ සැපයීම අඛණ්ඩව ක්‍රියාත්මක කරමින්, රටේ මහජනතාව සෞඛ්‍ය සම්පන්න කරලීමේ අරමුණින් මෙරට සෞඛ්‍ය සේවාවන් තව දුරටත් වැඩිදියුණු කිරීම සිදු කළ යුතු වේ.

ඒ අනුව, භෞතික හා මානව සම්පත් ප්‍රශස්ත අන්දමින් බෙදී යාම තහවුරු කරමින් ප්‍රධාන රෝහල් කිහිපයක පවතින අධික තදබදය අවම කිරීම සඳහා පර්යන්ත රෝහල්වල පහසුකම් වැඩිදියුණු කිරීමටත්, ළමා, පිළිකා, ශල්‍ය, මාතෘ, නව ජන්ම, මුඛ සෞඛ්‍ය ආදී වාට්ටු සංකීර්ණ, රසායනාගාර, ඖෂධ ගබඩා සහ සායන ගොඩනැඟිලි ආදිය දුර බැහැර රෝහල්වල ඉදි කිරීම තුළින් මහජනතාවට පහසුවෙන් ළඟා විය හැකි පරිදි විශේෂඥ සත්කාරක සේවාවන් සැපයීමටත් රජය සැලසුම් කර ඇත. ඒ සඳහා හඳුනාගනු ලැබ ඇති ආසන්න වශයෙන් පිරිවැය රුපියල් මිලියන 28,000ක් පමණ වන විවිධ ව්‍යාපෘති ගණනාවක් 2018 වර්ෂයේදී ආරම්භ කර ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.