• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මෝටර් වාහන පනත යටතේ රථවාහන වැරදි සඳහා අය කරනු ලබන දඩ මුදල් සංශෝධනය කිරීම
- මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් මාරක රිය අනතුරුවලට විශාල වශයෙන් හේතු වන මාර්ග නීති උල්ලංඝනය කිරීමේ වැරදි 07 ක් හඳුනා ගෙන එම වැරදි සඳහා අය කරනු ලබන අවම දඩ මුදල රුපියල් 25,000/-ක් දක්වා වැඩි කිරීමට 2016 වර්ෂයේදී යෝජනා කෙරිණි. එහෙත් මේ සම්බන්ධයෙන් බස් සංගම් හා ත්‍රි රෝද රථ සංගම් වෙතින් එල්ල වූ විරෝධය සැලකිල්ලට ගෙන මෝටර් වාහන පනත යටතේ අය කරනු ලබන දඩ මුදල් වැඩි කිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම පිණිස ජනාධිපතිතුමා විසින් නිලධාරි කමිටුවක් පත් කරන ලද අතර එම කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති පහත සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

පහත සඳහන් රථ වාහන වැරදි සඳහා අය කරනු ලබන අවම දඩ මුදල රුපියල් 25,000/- ක් දක්වා වැඩි කිරීම:

- වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම.

- රියදුරු බලපත්‍රයක් නොමැති තැනැත්තන් සේවයේ නියුක්ත කිරීම.

- මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව රිය ධාවනය.

- දුම්රිය මාර්ගයක් තුළට අපරික්ෂාකාරීව මෝටර් වාහනයක් ඇතුළු කිරීම.

- වලංගු රක්ෂණාවරණයක් නොමැතිව රිය ධාවනය.

පහත සඳහන් රථ වාහන වැරදි සඳහා දැනට අය කරනු ලබන අවම දඩ මුදල් සංශෝධනය කිරීම:

- අධික වේගයෙන් රිය පැදවීම.

(නියමිත උපරිම වේගය ඉක්මවා 20% දක්වා අධික වේගයෙන් රිය පැදවීමට රුපියල් 3,000ක්ද; නියමිත උපරිම වේගය ඉක්මවා 20% ට වැඩි හා 30%ට අඩු අධික වේගයෙන් රිය පැදවීමට රුපියල් 5,000ක්ද; නියමිත උපරිම වේගය ඉක්මවා 30% ට වැඩි හා 50%ට අඩු අධික වේගයෙන් රිය පැදවීමට රුපියල් 10,000ක්ද; නියමිත උපරිම වේගය ඉක්මවා 50% ට වැඩි අධික වේගයෙන් රිය පැදවීමට රුපියල් 15,000ක්ද වශයෙන් ස්ථානීය දඩ නියම කිරීම)

- වමෙන් ඉස්සර කිරීම.

(මෙම වරද සඳහා වන අවම ස්ථානීය දඩය රුපියල් 2,000/- ක් දක්වා වැඩි කෙරේ)

- වෙනත් තැනැත්තන් කෙරෙහි නොසැලකිලිමත්ව හෝ යුක්ති සහගත සැලකිල්ලක් නොමැතිව රිය ධාවනය කිරීම.

(මෙම වරද සඳහා රුපියල් 10,000/- ක අවම දඩයක් නියම කෙරේ)

- අපරික්ෂාකාරීව හෝ අනතුරුදායක ආකාරයකින් හෝ අන්තරාදායක වේගයකින් මෝටර් වාහනයක් ධාවනය කිරීම

. (මෙම වරද සඳහා රුපියල් 10,000/- ක අවම දඩයක් නියම කෙරේ)

- නියමිත වයසට අඩු වයසේ තැනැත්තන් විසින් රිය පැදවීම.

(මෙම වරද සඳහා දැනට පවතින අවම දඩය රුපියල් 5,000/- ක සිට 30,000/- දක්වා වැඩි කෙරේ)

- මෝටර් වාහන පනතේ ප්‍රකාශිතව දඬුවම දක්වා නොමැති යම් වරදක් සඳහා අදාළ කර ගනු ලබන පොදු දණ්ඩනය යටතේ අය කෙරෙන අවම දඩ මුදල රුපියල් 2,500/- ක් දක්වා වැඩි කිරීම.

ජංගම දුරකථනය භාවිත කරමින් රිය පැදවීම සම්බන්ධයෙන් රුපියල් 2,000/- ක ස්ථානීය දඩයක් නියම කිරීම.

රියදුරු ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම.

රිය අනතුරු බහුලව සිදුවන ස්ථාන ආශ්‍රිතව CCTV කැමරා ස්ථාපනය කර එම තොරතුරු මත පදනම්ව වරදකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම.

රථ වාහන වැරදි සඳහා වන ස්ථානීය දඩ මුදල් අය කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික ගෙවීම් පහසුකම් යොදා ගැනීමේ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීම.

අධීවේගී මාර්ගවල හා මහාමාර්ගවල වේග සීමා පුවරු විධිමත්ව ප්‍රදර්ශනය කිරීම.

ශ්‍රීලංගම හා පෞද්ගලික බස්රථ ධාවනයට අදාළව ඒකාබද්ධ කාලසටහන් හෝ සුදුසු වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම.

ත්‍රි රෝද රථ සහ පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ හා වෑන් රථ නියාමනය පිණිස නියාමන ආයතන පිහිටුවීම.

මගී ආරක්ෂාව සුරක්ෂිත කෙරෙන කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවයක් ස්ථාපිත කිරීම.

රථවාහන නීතිය ක්‍රියාත්මක කරනු ලබන ඇතැම් නිලධාරින් විසින් සිදු කරනු ලැබිය හැකි විවිධ අක්‍රමිකතා අවම කිරීම සඳහා සහ නීතිය ක්‍රියාත්මක වීමේ විනිවිදභාවය ඇතිකරලීම සඳහා නවීන තාක්ෂණික මෙවලම් භාවිත කිරීම.