• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ග්‍රෑන්ඩ් හයට් (Grand Hyatt) හෝටලයේ හිමිකාරිත්වය ප්‍රතිව්‍යූහගත කිරීම
- රජයේ පාලනය යටතේ පවත්නා රාජ්‍ය ව්‍යවසායන්හි තරගකාරිත්වය හා කාර්යසාධනය වැඩිදියුණු කිරීම තුළින් තිරසර හා පූර්ණ ආර්ථික වර්ධනයක් සඳහා අනුබල දීම රජයේ ප්‍රතිපත්තිය වේ. ඒ අනුව, උපායමාර්ගිකව වැදගත් නොවන තෝරාගත් වත්කම් කිහිපයක හිමිකාරිත්වය ප්‍රතිව්‍යූහගත කිරීමට සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට් රෝ ගෑස් සමාගම සහ සේවක අර්ථසාධක අරමුදල යන රාජ්‍ය ආයතන විසින් හිමිකාරිත්වය දරනු ලබන 'කැන්විල් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගම' මඟින් ඉදි කෙරෙන 'ග්‍රෑන්ඩ් හයට් (Grand Hyatt) හෝටල් ව්‍යාපෘතිය' සතු විභවයන් සම්පූර්ණයෙන් දියුණු කිරීම සඳහා තවදුරටත් විශාල ආයෝජනයක් සිදු කළ යුතු වේ. රජයේ වෙනත් ප්‍රමුඛ අවශ්‍යතා පවතින බැවින් සහ විදේශ සංචාරකයින් හා ඉතා ඉහළ ආදායම් ලබන ශ්‍රී ලාංකිකයින් සුළුතරයකට පමණක් සේවා සලසනු ලබන මෙවන් සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියක් වෙනුවෙන් තවදුරටත් රාජ්‍ය ආයතනවල අරමුදල් වැය කිරීම යෝග්‍ය නොවන බැවින් මේ සඳහා පෞද්ගලික ආයෝජන කැඳවීමට තීරණය කරනු ලැබ තිබේ.

ඒ අනුව 'ග්‍රෑන්ඩ් හයට් (Grand Hyatt) හෝටල් ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කරනු ලබන 'කැන්විල් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගමේ' රජය සතු කොටස් අලෙවි කිරීම සඳහා සුදුසු පෞද්ගලික ආයෝජකයින් තෝරාගැනීම පිණිස ප්‍රසම්පාදන කමිටුවක් සහ තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කිරීම පිණිස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.