• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ නව වෙළඳ ප්‍රතිපත්තිය
- ක්‍රමානුකූලව හා විධිමත් ක්‍රමවේදයක් අනුව සකස් කරන ලද පැහැදිලි දැක්මක් සහිත වෙළඳ ප්‍රතිපත්තියක් නොමැති වීම හේතුවෙන් වරින් වර එකිනෙකට වෙනස් නීති හා රෙගුලාසි පැනවීම හා භාවිතය ශ්‍රී ලංකාවේ වෙළඳාම පුළුල් කිරීම කෙරෙහි අහිතකර ලෙස බලපා ඇත. එබැවින්, අපනයන මුල් කරගත් වෙළඳාම සහ ආයෝජන ක්ෂේත්‍රය වෙත ප්‍රමුඛතාව ලබා දෙමින් නව වෙළඳ ප්‍රතිපත්තියක් ඇති කරගැනීම අවශ්‍ය වේ. ඒ අනුව, අදාළ අංශවල විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් ශ්‍රී ලංකාවේ නව වෙළඳ ප්‍රතිපත්තියෙහි මූලික කෙටුම්පත සකස් කර ඇති අතර, තරගකාරිත්වය ඉහළ නැංවීම, වෙළඳ පොළ ප්‍රවේශය පුළුල් කරගැනීම හා වෙළඳාම සඳහා පහසුකම් සැපයීම, සාර්ව ආර්ථික තුලනය, ප්‍රතිපත්ති හා ආයතනික සංගතතාව ඇති කිරීම, බලපෑමට ලක්විය හැකි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තරගකාරිත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සහ වෙළඳාමේ ප්‍රතිලාභ සියලු පාර්ශ්වයන්ට ලැබෙන බව තහවුරු කරගැනීම යන ප්‍රධාන අරමුණු කෙරෙහි එහිදී අවධානය යොමු කරනු ලැබ ඇත.

ඒ අනුව, යෝජිත වෙළඳ ප්‍රතිපත්තිය අදාළ කරගැනීමට සහ එහි ඇතුළත් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග අදාළ සියලුම ආයතන මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.