• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලෙලි කජු ආනයනය කිරීම
- මෙරට වාර්ෂික ලෙලි කජු ඉල්ලුම මෙට්‍රික් ටොන් 20,000ක් වන නමුත් වසරකට මෙරට නිපදවනු ලබනුයේ ලෙලි කජු මෙට්‍රික් ටොන් 10,000ත් 12,000ත් අතර ප්‍රමාණයකි. දේශීය වෙළඳ පොළ තුළ පවතින ලෙලි කජු හිඟය කජු සැකසීමේ නියුතු පවුල් විශාල සංඛ්‍යාවකගේ ජීවනෝපාය කෙරෙහි අහිතකර ලෙස බලපා ඇත. ඒ අනුව, දේශීය වෙළඳ පොළ තුළ ලෙලි කජු අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමා සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මැතිතුමා එක්ව යෝජනා කළ පහත සඳහන් ක්‍රමවේදය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* ශාක ආරක්ෂණ පනතේ විධිවිධාන හා අදාළ රෙගුලාසිවලට අනුකූලව නිරෝධායන නියමයන්ට අනුගත වෙමින්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය විසින් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත සිදු කරනු ලබන නිර්දේශය පරිදි, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරනු ලබන බලපත්‍රයක් මත, දේශීය වෙළඳ පොළ සඳහා වාර්ෂිකව මෙට්‍රික් ටොන් 6,000ක් ද, අපනයන කාර්යයන් සඳහා තාවකාලික ආනයන හා අපනයන වැඩසටහන (TIEP) යට‍ෙත් අගය එකතු කර ප්‍රතිඅපනයනය සඳහා වාර්ෂිකව මෙට්‍රික් ටොන් 15,000ක් ද වශයෙන් ලෙලි කජු ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම.

* TIEP යෝජනා ක්‍රමය යටතේ ආනයනය කරනු ලබන ලෙලි කජු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් යෝග්‍ය බවට හඳුනාගනු ලබන වරාය තුළ හෝ ඊට ආසන්න ස්ථානයකදී අගය එකතු කිරීමේ ක්‍රියාවලියට බඳුන් කිරීම සහ එසේ ආනයනය කරනු ලබන සම්පූර්ණ ප්‍රමාණය ප්‍රතිඅපනයනය ‍ෙක‍ෙරන බවට රේගු දෙපාර්තමේන්තුව විසින් වගබලා ගැනීම.

* 2020 වර්ෂය වන විට කජු නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිතභාවය අත්පත් කරගැනීම සඳහා කජු වගා කිරීමේ කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.