• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වනජීවීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වායු බලයෙන් ක්‍රියා කරන අවිආයුධ භාවිතය නියාමනය කිරීම
- ඇතැම් වනසතුන්ගේ ගහණය වැඩිවීම හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල වනසතුන් විසින් සිදු කරනු ලබන වගා හානිය ඉහළ ගොස් ඇති අතර, එවැනි සතුන්ගෙන් එම ප්‍රදේශවල වෙසෙන මහජනතාවගේ දෛනික ජීවිතයට සිදුවන අවහිරතාද වැඩි වී තිබේ. අනෙක් අතට මෙවැනි සතුන්ගෙන් වගාවන් ආරක්ෂා කරගැනීම සඳහා භාවිත කරනු ලබන, වායු බලයෙන් ක්‍රියා කරන අවිආයුධ වනසතුන් දඩයම් කිරීම සඳහා ද යොදා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් වී තිබේ. ඒ අනුව, මේ පිළිබඳ අධ්‍යයනය කි‍රීම සඳහා පත් කරන ලද නිලධාරි කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති පහත සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* දැනට වනසතුන් පලවා හැරීම සඳහා භාවිත කරනු ලබන 0.22mm වායු ‍රයිෆලය වෙනුවට අඩු බලයකින් යුත් වායු රයිෆලයක් නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව සොයා බැලීම සහ ශබ්දය මඟින් වනසතුන් පලවා හැරිය හැකි නව මාදිලියේ වායු රයිෆලයක් නිර්මාණය කිරීමට දිරිගැන්වීම.

* පොල් වගාවන්හි ආරක්ෂාව සඳහා, දැනට භාවිත කරනු ලබන 0.22mm වායු රයිෆල් නිකුත් කිරීම විධිමත් කිරීම.

* වායු රයිෆල් ගිනි අවි ආඥාපනත යටතට ඇතුළත් කිරීම.

* කෘෂි වගාවන්ට හානි කරන ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන සතුන්ගේ ගහණය පාලනය කිරීම සඳහා විශේෂඥ සහාය ලබා ගෙන ජීව විද්‍යාත්මක පර්යේෂණ පැවැත්වීම.

* වගාවන්ට හිතකර සතුන්ගේ ජීවිත විනාශ කිරීමට හේතු වන කෘෂි රසායන භාවිතය සීමා කිරීම.

* වනසතුන්ගෙන් සිදුවන වගා හානිය අවම කිරීම සඳහා නවීන විද්‍යාත්මක ක්‍රමවේද භාවිත කිරීම.

* වනසතුන්ට හානියක් නොවන පරිදි එම සතුන් වගා බිමෙන් පලවා හැරීම පිණිස අතීතයේ භාවිත කරනු ලැබූ සාම්ප්‍රදායික ක්‍රම නව තාක්ෂණය ඇසුරෙන් දියුණු කර වර්තමානයට ගැළපෙන පරිදි යොදා ගැනීම.

* වනසතුන් ගම් වැදීමට හේතු වන, විවෘත භූමිවල කසළ බැහැර කිරීම අවම කිරීම.

* 'හක්ක පටස්' නිෂ්පාදනය සඳහා භාවිත කරනු ලබන අමුද්‍රව්‍ය ආනයනය සීමා කිරීම.