• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කිරීම
- ග්‍රාමීය ප්‍රජාව සහ වැදගත් සමාජ ආර්ථික මධ්‍යස්ථාන අතර මනා සම්බන්ධතාවක් ගොඩනැංවීමේ අරමුණින් 2014 වර්ෂයේදී ආරම්භ කරනු ලැබූ ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනේ පළමු අදියර දකුණු, මධ්‍යම, සබරගමුව, වයඹ හා උතුරු මැද පළාත්වල සහ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. එහි දෙවන අදියර උතුරු, නැ‍ඟෙනහිර, ඌව හා බස්නාහිර යන පළාත්වල ග්‍රාමීය ප්‍රවේශ මාර්ග කිලෝමීටර 3,400ක් පමණ සහ ජාතික මාර්ග කිලෝමීටර 340ක් පමණ පුනරුත්ථාපනය කර මනා තත්ත්වයෙන් නඩත්තු කර ගෙන යාමේ ඉලක්කය ඇතිව ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව, එම දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම පිණිස ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, අදාළ ණය ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.