• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ මිල දී ගැනීම සහ ඩෙංගු රෝගය පැතිර යාම පාලනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම
‍- ෙඩංගු වසංගත තත්ත්වය කඩිනමින් පාලනය කිරීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ සංදේශය සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ සංදේශය සැලකිල්ලට ගනිමින් ඩෙංගු රෝගීන්ට වඩා ඵලදායී අන්දමින් දැඩි සත්කාර ප්‍රතිකාර සේවා ලබා දීම සඳහා අත්‍යවශ්‍ය, කඩිනමින් මිල දී ගත යුතු වන වෛද්‍ය හා රසායනාගාර උපකරණ කිහිපයක් හදිසි ප්‍රසම්පාදනයක් සේ සලකා මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී. ඒ අනුව, ඉන් දේශීය වශයෙන් මිල දී ගත හැකි උපකරණ වහාම මිල දී ගැනීමටත්, ඉතිරි උපකරණ විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල හරහා මිල දී ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම‍ටත්, මේ සඳහා රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට වෙන් කර දීමටත් තීරණය කරන ලදී.

තවද, ඩෙංගු රෝගය තවදුරටත් පැතිරීම පාලනය කිරීම පිණිස පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීමටත් අනුමැතිය ලබා දෙන ලදී.

i සිය කාර්යාල පරිශ්‍ර ඩෙංගු රෝගය පැතිරීම සඳහා ඉඩ නොතබන පරිශ්‍ර වශයෙන් පවත්වා ගැනීම පිණිස දෙපාර්තමේන්තු ප්‍රධානීන් වගබලා ගත යුතු බවට ජනාධිපති ලේකම් විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ උපදෙස් තරයේ ක්‍රියාත්මක කිරීම.

ii දෙමාපියන්ගේ සහ සිසුන්ගේ සහභාගිත්වය ඇතිව පාසල් තුළ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවශ්‍ය පියවර ගැනීම.

iii ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගැනීම සඳහා නිවසින් නිවස පරීක්ෂා කිරීමට බස්නාහිර පළාත් සභාව විසින් ක්ෂේත්‍ර නිලධාරින් යොදවා ඇති අතර, එම ක්‍රමවේදය අනෙකුත් පළාත් සභා විසින් ද අනුගමනය කිරීම.

iv ඩෙංගු රෝගය වළක්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා සුදුසු කෙටි වීඩියෝ වැඩසටහන්/ශ්‍රව්‍ය වැඩසටහන් සකස් කර ප්‍රචාරය කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් අවශ්‍ය පියවර ගැනීම.

v සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සහාය ඇතිව ඩෙංගු රෝගීන්ට අවශ්‍ය රෝගී සත්කාරක සේවා සැලසීම පිණිස ශ්‍රී ලංකා යුද හමුදාවේ භටයින් 2,000ක් පුහුණු කිරීම;

vi සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්, පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පොලිස් ස්ථාන එක්ව ඒ ඒ ප්‍රදේශවල ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.