• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පළාත් පාලන ආයතන අලුතෙන් ඇති කිරීම හා දැනට පවතින පළාත් පාලන ආයතන උත්ශ්‍රේණිගත කිරීම
- පළාත් පාලන ආයතන අලුතින් සංස්ථාපනය කිරීමට හෝ දැනට පවතින පළාත් පාලන ආයතන උසස් කිරීමට හෝ අදාළ විධිවිධාන නීති මඟින් පනවනු ලැබ නොමැති අතර, ඒ සඳහා මීට ප්‍රථම විවිධ නිර්ණායක අනුගමනය කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස අවිධිමත් අන්දමට ස්ථාපිත කරන ලද පළාත් පාලන ආයතන ස්වාධීනව පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය ආර්ථිකමය පසුබිමක් නොමැති වීම හේතුවෙන් ඒ සඳහා වන වැය බර රජයට දැරීමට සිදුව ඇති අතර, එවැනි පළාත් පාලන ආයතන වෙතින් ජනතාව අපේක්ෂා කරන සේවාව ලබා දීමද අපහසු වී ඇත.

1999 වර්ෂයේ පළ කරන ලද පළාත් පාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව පළාත් පාලන ආයතන සංස්ථාපනය හා උසස් කිරීම පිළිබඳව ප්‍රතිපත්ති හඳුන්වා දීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පළාත් සභා හා පළාත් පාලන ඇමතිතුමා විසින් සාමාජිකයින් 12 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් පත් කරනු ලැබ ඇත. එම විද්වත් කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි, ජන සංඛ්‍යාව හා ජන ඝනත්වය, නිවාස ප්‍රමාණය හා ඝනත්වය, සේවා සම්පාදනය හා යටිතල පහසුකම්වල දියුණුව, වාණිජ හා කර්මාන්ත ආයතනවල ව්‍යාප්තිය, සේවා නියුක්තිය සහ යෝජිත ආයතන බල ප්‍රදේශයේ ස්වයං ජනිත ආදායම යන නිර්ණායක පදනම් කරගත් ක්‍රමවේදය අනුව පමණක් ඉදිරියේදී නව පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම හෝ පවතින පළාත් පාලන ආයතන උසස් කිරීම සිදු කිරීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.