• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා වන ජාතික මාර්ගෝපදේශ
- රැකියාවන්වල නිරත වන කාන්තාවන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ දරුවන් රැකබලා ගැනීම පිණිස ක්‍රියාත්මක වන ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන (Day Care Centers) සඳහා වන ඉල්ලුමද ඉහළ ගොස් තිබේ. වර්තමානය වන විට විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන විසින් ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පවත්වා ගෙන යනු ලබන අතර, ඒවායේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ජාතික මට්ටමේ ප්‍රමිතීන් මෙන්ම ක්‍රමවත් නියාමනයක් ඇති කිරීමේ අවශ්‍යතාව මතු වී තිබේ.

ඒ අනුව, අදාළ සියලුම පාර්ශ්වයන්ගේ හා විශේෂඥයින්ගේ අදහස් ලබා ගෙන, 'ශ්‍රී ලංකාවේ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා ජාතික මාර්ගෝපදේශ' සකස් කරනු ලැබ ඇත. යෝජිත මාර්ගෝපදේශ මඟින් ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය, පවත්වාගත යුතු ප්‍රමිතීන් හා අධීක්ෂණ යන්ත්‍රණය පිළිබඳ විධිවිධාන හඳුන්වා දෙනු ලබන අතර, පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ එම කටයුතු ක්‍රියාත්මක කිරීමට යෝජිතය. එමෙන්ම, යෝජිත මාර්ගෝපදේශ සංග්‍රහයට සමගාමීව ජාතික වෘත්තීය සුදුසුකම 4 වන මට්ටම (NVQ Level 4) සඳහා වන ළමා සුරැකුම් පාඨමාලාවක්ද හඳුන්වා දෙනු ලැබ තිබේ.
ඒ අනුව, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලද, 'ශ්‍රී ලංකාවේ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා වන ජාතික මාර්ගෝපදේශ' අනුමත කිරීමටත්, එම මාර්ගෝපදේශ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ නිසි ක්‍රියාකාරී සැලැස්මකට යටත්ව ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.