• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය ආශ්‍රිතව පැන නැඟී ඇති ගැටලු සඳහා කඩිනම් පිළියම් යෙදීම
- උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ උමං මාර්ග ඉදි කිරීම හේතුවෙන් ප්‍රදේශවාසීන්ට මුහුණ පෑමට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳව සොයා බලා අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුතු අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් 2017‑06‑27 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පත් කරන ලදී.

ඒ අනුව, අදාළ ප්‍රදේශයේ සංචාරය කර අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව, උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ උමං මාර්ග ඉදි කිරීම හේතුවෙන් ප්‍රදේශවාසීන් මුහුණ දී සිටින දුෂ්කරතාවන්ට සහන සැලසීම සඳහා පහත සඳහන් නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස එම අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ සභාපති වශයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

නිසි අධ්‍යයනයක් සිදු කර සුදුසු ස්ථාන ආශ්‍රිතව විශාල ප්‍රමාණයේ භූගත ළිං හයක් කඩිනමින් ඉදි කිරීම.

දැනට ජල ටැංකි සපයා නොමැති පවුල් ඒකක ඇත්නම් එම පවුල්වලට ඉදිරි දෙසතිය තුළ ටැංකි ලබා දීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම.

ජලය බෙදා හැ‍රීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සතුව පවතින ට්‍රැක්ටර් බවුසර් 20ක් බදුල්ල දිස්ත්‍රික් ලේකම් වෙත කඩිනමින් නිදහස් කිරීම.

හානියට පත් දේපළ සඳහා වන්දි ලබා දීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විශේෂ ඒකකයක් ස්ථාපිත කර සේවාවන් වඩා කාර්යක්ෂම කිරීම.

බලපෑමට ලක්ව ඇති ප්‍රදේශවල ග්‍රාමීය මාර්ග පද්ධතිය පුනරුත්ථාපනය කිරීම පිණිස රුපියල් මිලියන 100ක් පළාත් සභාව වෙත කඩිනමින් නිදහස් කිරීම.

සහන කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා දැනටමත් ස්ථාපනය කර ඇති 'ජන සහන ලේකම් කාර්යාලය' ශක්තිමත් කිරීම.

සහන කටයුතුවල ප්‍රගතිය සති දෙකකට වරක් හා මාසිකව සමාලෝචනය කිරීම.

යෝජිත බණ්ඩාරවෙල විසල් ජල යෝජනා ක්‍රමයේ ඉදි කිරීම් කඩිනම් කිරීම සදහා අවශ්‍ය අරමුදල් 2018 අයවැය මඟින් වෙන් කර දීම.

බලපෑමට ලක්ව ඇති කුඩා වැව් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන නිදහස් කිරීම.

නැවත පදිංචි කිරීම සඳහා හඳුනාගනු ලැබ ඇති ඉඩම්වල භුක්තිය බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් මඟින් අදාළ පවුල් වෙත කඩිනමින් භාර දීම.

බලපෑමට ලක්ව ඇති පාසල් කඩිනමින් පිළිසකර කර යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය අමතර මුල්‍ය ප්‍රතිපාදන සලසා දීම.

බලපෑමට ලක්ව ඇති පවුල් විසින් ලබා ගනු ලැබ ඇති නිවාස ණය හා වගා ණය වාරික ආපසු ගෙවීම සඳහා වසර දෙකක සහන කාලයක් ලබා දීම.

බලපෑමට ලක්ව ඇති ප්‍රදේශවල විශේෂ විකල්ප ජීවනෝපාය සංවර්ධන සැලැස්මක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම.

උමං මාර්ගයේ ඇති ජල කාන්දුව වසා දැමීම සඳහා ඉරාන සමාගම විසින් කටයුතු කිරීම.

ව්‍යාපෘතියේ ඉදිරි විදුම් කටයුතු, ජාත්‍යන්තර විශේෂඥයන්ගේ නිර්දේශ හා දේශීය විද්වත් කමිටුවක් මඟින් ලබාගනු ලබන නිර්දේශ මත පමණක් යළි සලකා බැලීම.