• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සවි බල ගැන්වීම
- ශ්‍රී ලංකාවේ අල්ලස හා දූෂණය මැඬ පැවැත්වීම සඳහා පිහිටුවා ඇති රාජ්‍ය ආයතනය වනුයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවයි. මෙම කොමිෂන් සභාව විසින් කළ යුතුව ඇති ඇතැම් විමර්ශන ඉතා සංකීර්ණ වන අතර ඊට අවශ්‍ය නවීන තාක්ෂණික සහාය ලබා දීම සහ එහි නිලධාරින්ගේ දැනුම හා කුසලතා වර්ධනය කිරීම මඟින් එහි කාර්යක්ෂමතාව වැඩි කිරීම අත්‍යවශ්‍ය බව හඳුනාගනු ලැබ තිබේ. මෙම කාර්යය සඳහා මූල්‍යාධාර සැපයීමට ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ කම්කරු කටයුතු සඳහා වන ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු කාර්යාංශය එකඟ වී ඇත.

ඒ අනුව, එම ආයතනය විසින් ලබා දීමට එකඟ වී ඇති ඇමරිකානු ඩොලර් 235,000ක ප්‍රදානය (ආසන්න වශයෙන් රුපියල් මිලියන 35.25ක්) ලබාගැනිම පිණිස අදාළ අවබෝධතා ගිවිසුම්වලට එළඹීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.