• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම
- යම් අධිකරණ කලාපයකට, අධිකරණ දිස්ත්‍රික්කයකට හෝ කොට්ඨාසයකට සාමදාන විනිශ්චයකාරවරුන් පත් කිරීම වෙනුවට පරිපාලන දිස්ත්‍රික්ක සඳහා සාමදාන විනිශ්චයකාරවරුන් පත් කිරීම වඩා ප්‍රායෝගික හා යෝග්‍ය බවට හඳුනාගෙන ඇති බැවින් ඒ සඳහා විධිවිධාන සැලසීමේ අරමුණින් 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනතේ 45 වන වගන්තිය සංශෝධනය කිරීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

එහිදී, දැනටමත් පත් කරනු ලැබ ඇති සාමදාන විනිශ්චයකාරවරුන් ඔවුන් අදාළ පත්වීම ලබන අවධියේ පදිංචිව සිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අයත් පරිපාලන දිස්ත්‍රික්කය සඳහා පත් කරනු ලැබ ඇති බවට සැලකිය යුතු සේ ප්‍රකාශ කිරීමටත්, සාමදාන විනිශ්චයකාරවරුන් සම්බන්ධයෙන් ආචාර ධර්ම සංග්‍රහය ක්‍රියාත්මක කිරීම අරමුණු කරගනිමින් ඔවුන්ගේ සේවය අත්හිටුවීම, අවලංගු කිරීම හා අවසන් කිරීම පිළිබඳ නියෝග සෑදීමටත් අවශ්‍ය විධිවිධාන ඇතුළත් කරමින් 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.