• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය
- වර්තමානයේ ක්‍රියාත්මක වන සෞඛ්‍ය ප්‍රතිපත්තිය 1996 වර්ෂයේදී සකස් කරන ලද්දක් වන අතර, සෞඛ්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිත වර්තමාන ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් නව ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් හඳුන්වා දීමේ අවශ්‍යතාව මතු වී ඇත.

ඒ අනුව, වසර තුනක (2014-2016) කාලයක් තුළ, සෞඛ්‍ය සේවාවේ සෑම අංශයකම වෘත්තීය විද්වතුන්ගේ, වෘත්තීයවේදීන්ගේ හා වෘත්තීය ආයතනවල සහභාගිත්වය ඇතිව නව ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සකස් කරනු ලැබ ඇත. එහිදී 'විශ්වීය සෞඛ්‍ය ආවරණය' (Universal Health Coverage) යන සංකල්පය සැලකිල්ලට ගනිමින්, රෝගීන්ගේ අයිතිවාසිකම් හා සමාජ යුක්තිය තහවුරු කරමින් රෝගීන් හා ජනතාව කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් හඳුන්වා දීම අරමුණු කරගෙන ඇත.

ඒ අනුව, පහත සඳහන් ප්‍රධාන ප්‍රතිපත්තිමය මෙහෙයවීම් හඳුනා ගනිමින්, 2016-2025 දස අවුරුදු කාල පරිච්ඡේදය සඳහා සකස් කරනු ලැබ ඇති එම 'ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය' සඳහා අනුමැතිය ලබාගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

නිවාරණ සෞඛ්‍ය අභිමතාර්ථ සාක්ෂාත් කරගැනීම පිණිස සේවා සැපයීම ශක්තිමත් කිරීම.

සියලු ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා උසස් ගුණාත්මකභාවයකින් යුත්, යෝග්‍ය හා සැම‍‍ දෙනාටම ලබා ගත හැකි රෝගී ප්‍රතිකාරක සේවාවක් සැලසීම.

ගුණාත්මකභාවයකින් යුත් පුනරුත්ථාපන සත්කාර සේවාවක් සඳහා වන සාධාරණ ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීම.

අඛණ්ඩව සෞඛ්‍ය සේවා සැපයීමේ ක්‍රමවේදයන් ශක්තිමත් කිරීම සඳහා සේවා සැපයුම් දත්ත මත පදනම් වූ සැලසුම් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම.

රෝගීන්ට පෞද්ගලිකව මුදල් වැය කිරීමට සිදුවන අවස්ථා අවම කිරීම පිණිස නව උපායමාර්ගයන් සංවර්ධනය කිරීම හා මූල්‍යමය අවදානම අවම කිරීම.

මානව සම්පත් කළමනාකරණය ඇතුළුව වඩා හොඳ ප්‍රතිව්‍යුහගත කිරීමක් මඟින් පුළුල් සෞඛ්‍ය පද්ධතියක් සුරක්ෂිත කිරීම.

සියලු සෞඛ්‍ය සත්කාරක සේවා සපයන්නන් සමඟ ක්‍රමෝපායික හවුල්කාරීත්වයක් ගොඩනඟා ගැනීම.