• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ වඩාත් ගුණාත්මක හා ඵලදායී ලෙස සිදු කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම
- රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී ඊට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වීම ඒකාධිකාරයක් යටතේ සිදු වීම නිසා යම් යම් අක්‍රමිකතා සිදු වන බවට මහජන විවේචන එල්ල වී ඇති අතර එම තත්ත්වය විනයගරුක රියදුරන් බිහි කිරීමට බාධාවක් වී ඇති බව පෙන්වා දී තිබේ. දැනට සිදු වන මාර්ග අනතුරු සම්බන්ධයෙන් සලකා බැලීමේදී රියදුරන්ගේ අපරික්ෂාකාරී බව හා ඔවුන්ට මාර්ග නීති පිළිබඳව පවතින අනවබෝධය ඉහත කී තත්ත්වය තවදුරටත් සනාථ කරනු ලබයි.

මෙම තත්ත්වයට පිළියමක් වශයෙන් මෙම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සඳහා මෝටර් රථ පරීක්ෂකවරුන්ට අමතරව, සුදුසුකම් සහිත වෙනත් පාර්ශ්ව හඳුනාගැනීමට යෝජනා වී තිබේ. එමඟින් වඩාත් ගුණාත්මක ලෙස මෙම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමටත්, මනාව නියාමනය කිරීම තුළින් තමන් විසින් සමත් කරනු ලබන රියදුරු බලපත්‍ර අපේක්ෂකයින් සම්බන්ධයෙන් වගවීමක් ඇති කර ලීමටත් හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව, මේ සඳහා යොදා ගත හැකි සුදුසු ක්‍රමවේදයක් පිළිබඳ අධ්‍යයනය කර නිර්දේශ සහිත වාර්තාවක් ලබාගැනීම සඳහා අදාළ ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.