• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඕසෝන් ස්තරයට හානි කර හයිඩ්‍රොක්ලෝරො-ෆ්ලෝරෝකාබන් (Hydrochloroflurocarbons-HCFC) භාවිතයෙන් ඉවත් කිරීම
- ඕසෝන් ස්තරය සුරැකීම සඳහා වූ වියානා සම්මුතියේ සහ මොන්ට්‍රියල් සන්ධානයේ එකඟතාවන්ට හා බැඳීම්වලට අනුකූලව හයිඩ්‍රොක්ලෝරොෆ්ලෝරෝකාබන් (Hydrochloroflurocarbons - HCFC) නමැති ඕසෝන් වියනට හානිකර රසායනික ද්‍රව්‍යය භාවිතය අවම කිරීමටත්, ඒ වෙනුවට ඕසෝන් හිතකාමී විකල්ප හඳුන්වා දීමටත් 1989 වසරේ සිට ශ්‍රී ලංකාව විසින් කටයුතු කරනු ලබයි. හයිඩ්‍රොක්ලෝරොෆ්ලෝරෝකාබන් රසායනික ද්‍රව්‍යය යොදා ගනු ලබන ශීතකරණ හා වායුසමන අලුත්වැඩියා හා නඩත්තු සේවා ක්ෂේත්‍රය කෙරෙහි ඇති විය හැකි අහිතකර බලපෑම පාලනය කරමින්, හයිඩ්‍රොක්ලෝරෝෆ්ලෝරෝකාබන් රසායනිකය ආනයනය සීමා කිරීම සඳහා කෙටිකාලීන සහ දිගුකාලීන විසඳුම් ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් 2016‑08‑16 දින තාක්ෂණ කමිටුවක් පත් කරන ලදී. පහත සඳහන් නිර්දේශද ඇතුළුව එම කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* ශීතකරණ, අධිශීතකරණ, වායු සමන යන්ත්‍ර හා තාප පොම්ප ඒකක, ජල සිසිලන, අයිස් නිෂ්පාදන යන්ත්‍ර, වාහන අධිශීතකරණ හෝ බහාලුම් ඇතුළු මොන්ට්‍රියල් සම්මුතියේ සඳහන් ඕසෝන් ප්‍රහීනකාරක සහිත උපකරණ කාණ්ඩයට අයත් භාවිත කළ (Used) හෝ අලුත්වැඩියා කළ (Reconditioned) උපකරණ ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීම.

* ගෝලීය උණුසුම් විභවය (Global Warming Potential) 100 අගය සහ ඕසෝන් ප්‍රහීනකාරී විභවය (Ozone Depleting Potential) 0.03 ඉක්මවන හයිඩ්‍රොක්ලෝරොෆ්ලෝරෝකාබන් රසායනිකය භාවිත කරමින් නිපදවනු ලබන උපකරණ හෝ උපාංග ශ්‍රී ලංකාවට ආනයනය, ශ්‍රී ලංකාව තුළ නිපදවීම හා එකලස් කිරීම 2018‑01‑01 දින සිට තහනම් කිරීම.

* ගෝලීය උණුසුම් විභවය (Global Warming Potential) 100 අගය සහ ඕසෝන් ප්‍රහීනකාරී විභවය (Ozone Depleting Potential) 0.03 නොඉක්මවන හයිඩ්‍රොක්ලෝරොෆ්ලෝරෝකාබන් රසායනිකය භාවිත කරමින් නිපදවනු ලබන උපකරණ හෝ උපාංග ශ්‍රී ලංකාවට ආනයනය, ශ්‍රී ලංකාව තුළ නිපදවීම හා එකලස් කිරීම 2021‑01‑01 දින සිට තහනම් කිරීම.

* ශීතකරණ හා වායු සමීකරණ උපකරණ සේවා හා නඩත්තු කටයුතු සිදු කරනු ලබන කාර්මික ආයතන සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමේදී, ශීතකාරක එකතු කිරීමේ හා නැවත ප්‍රතිචක්‍රීයකරණය කරගැනීමේ උපකරණයක් (Refrigerant Recovery & Recycling Machine) තිබීම අනිවාර්ය බවට වූ කොන්දේසියක් 2019‑01‑01 දින සිට බලපැවැත්වෙන පරිදි ඇතුළත් කිරීම.