• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ව්‍යවසායකත්ව හා නවෝත්පාදන තුළින් ශ්‍රී ලංකාවේ අපනයන තරගකාරිත්වය සඳහා වන ඉදිරි සැලැස්ම
- ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික කාර්යසාධනය සැලකිය යුතු මට්ටමක පැවතියද ඉහළ මැදි ආදායම් රටක් බවට පත්වීම සඳහා ව්‍යවසායකත්ව අංශය විසින් නව තාක්ෂණයට අනුගත වෙමින් ඵලදායිත්වය වැඩි කරගනිමින්, ගෝලීය අගයදාම ක්‍රියාවලියට හා නව වෙළඳපොළවල්වලට පිවිසෙමින්, වඩාත් හොඳ රැකියා අවස්ථා බිහිකර රටේ සමස්ත ආර්ථික සංවර්ධනයට දායක විය යුතුව ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ අපනයන තරගකාරිත්වය ඉහළ නැංවීම සඳහා බලපානු ලබන බාධක හඳුනාගැනීම සඳහා අදාළ පාර්ශ්වයන්ගේ සහභාගිත්වය ඇතිව අදාළ නීති, රෙගුලාසි සහ ආයතන සම්බන්ධයෙන් සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ හඳුනාගැනීම සඳහා සවිස්තරාත්මක වාර්තාවක් සකස් කර ඇත. එමඟින් ජාතික නවෝත්පාදන හා ව්‍යවසායකත්ව ප්‍රජාවක් බිහි කිරීම මඟින් ශ්‍රී ලංකාවේ අපනයන තරගකාරිත්වය ඉහළ නැංවීම සඳහා ඉලක්කගත වැඩපිළිවෙලක්/සැලැස්මක් යෝජනා කර ඇති අතර ඒ යටතේ ක්‍රියාකාරී කණ්ඩායම් තුනක් (03) පත් කිරීමටත්, එම සමස්ත ක්‍රියාවලිය මෙහෙයවීම සඳහා සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය යටතේ නවෝත්පාදන හා ව්‍යවසායකත්ව මහලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමටත් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා; විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා; සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.