• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2016 අංක 5 දරන කාලාවරෝධ (විශේෂ විධිවිධාන) පනතට සංශෝධන
- 30 වසරක කාලයක් පුරා පැවති යුදමය තත්ත්වය හේතුවෙන් සිය ඉඩකඩම් ඇතුළු නිශ්චල දේපළ අහිමි වී ඇති පුද්ගලයින්ට එකී දේපළ නැවත අත්පත් කරගැනීම සඳහා අධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට හැකියාව ලබා දීමේ අරමුණින් සම්මත කරන ලද 2016 අංක 5 දරන කාලාවරෝධ (විශේෂ විධිවිධාන) පනතේ විධිවිධාන ක්‍රියාත්මක වීමේ වලංගු කාලසීමාව 2018 අප්‍රේල් මස 25 දිනෙන් අවසන් වේ.

මෙම පනතේ විධිවිධාන මඟින් ආවරණය වන, 1983 මැයි මස 01 දින සිට 2009 මැයි මස 18 දින දක්වා කාලසීමාව තුළ සිය දේපළ අහිමි වූ හෝ අතහැර දැමීමට සිදු වූ තැනැත්තන් සැලකියයුතු සංඛ්‍යාවකට මෙතෙක් මෙම පනත යටතේ සිය අයිතිවාසිකම් නැවත ලබාගැනීම සඳහා කටයුතු කිරීමට නොහැකි වී ඇති බැවින් එහි විධිවිධාන වලංගු කාලසීමාව තවත් වර්ෂ දෙකකින් (02) දීර්ඝ කරමින්, 2016 අංක 5 දරන කාලාවරෝධ (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.