• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'වැලිගම පොල් කොළ මැළවීමේ හා කුණුවීමේ රෝග' මර්දන වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කිරීම
- ප්ලයිටොප්ලාස්මා (Phytoplasma) නැමැති ක්ෂුද්‍ර ජීවියෙකුගෙන් හටගන්නා 'වැලිගම පොල් කොළ මැළවීමේ හා කුණුවීමේ රෝගය' වශයෙන් හඳුන්වනු ලබන පොල් වගාවට හානිකර රෝගය මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 02ක හා ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 02ක ව්‍යාප්තව ඇත. මෙම රෝගය වැළඳීමෙන් අනතුරුව, පොල් ඵලදාව ක්‍රමයෙන් අඩු වී පොල් ගස බෙලහීනතාවට පත් කර කල් ගත වෙත්ම ගස සම්පූර්ණයෙන්ම විනාශයට පත් වේ.

මෙම රෝගය කළමනාකරණය කිරීම සඳහා 2008 වර්ෂයේදී වැඩසටහනක් ආරම්භ කරන ලද අතර එමඟින් රෝගය පාලනය කර කලාපයෙන් පිටතට එය පැතිර යාම වැළැක්වීමට අවශ්‍ය පියවර ගනු ලැබ ඇත. මේ වන විට වාර්ෂිකව රෝගය වැළ‍ඳෙන ගස් ප්‍රමාණය පහළ ගොස් ඇති අතර 2016 වර්ෂය අවසානය වන විට රෝගය වැළඳුනු ගස් 290,279ක් ඉවත් කරනු ලැබ තිබේ. එසේම ‍ඒ පිළිබඳව ඉඩම් හිමියන් දැනුවත් කිරීම, වන්දි ගෙවීම, රෝගය පිළිබඳ පර්යේෂණ පැවැත්වීම හා රෝගයට ඔරොත්තු දෙන පොල් ප්‍රභේදයන් නිපදවීම සඳහා අවශ්‍ය තවාන් ස්ථාපිත කිරීම ඇතුළු කටයුතු පසුගිය කාලසීමාව තුළ ඉටු කරනු ලැබ ඇත. මෙම රෝගය එය ව්‍යාප්තව ඇති කලාපයෙන් සම්පූර්ණයෙන් ඉවත් වන තුරු ඉදිරි වර්ෂ 03ක කාලසීමාව තුළද එම රෝග මර්දන වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා රුපියල් මිලියන 213.60ක ප්‍රතිපාදන යෙදවීමටත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.