• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වඩමාරච්චි කලපුවේ ජල සම්පත් සංවර්ධනය කිරීම මඟින් යාපනය අර්ධද්වීපයේ ජනතාවට පානීය ජලය සැපයීම පිළිබඳ අධ්‍යයනය
- ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් යාපන අර්ධද්වීපයේ විවිධ ජල සම්පාදන ව්‍යාපෘති 16ක් ක්‍රියාත්මක කරනු ලැබ ඇතත් එමඟින් නළජල පහසුකම් සැපයීමට හැකි වී ඇත්තේ එම ප්‍රදේශයේ ජීවත්වන හය ලක්ෂයක් පමණ වන ජනගහනයෙන් 9%ක පමණ ප්‍රමාණයකට පමණි. සුදුසු ජල මූලාශ්‍රවල හිඟකම යාපනය ප්‍රදේශයේ පානීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා පවතින ප්‍රධානතම බාධකය වේ. මෙයට පිළියමක් වශයෙන් කරදිය පිරිසිදු කර පානීය ජලය සැපයීමේ ජල පවිත්‍රාගාරයක් ස්ථාපනය කිරීමට දැනටමත් තීරණය කරනු ලැබ තිබේ.

මීට අමතරව, වර්ෂයේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලසීමාව තුළ ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂා ජලය වඩමාරච්චි කලපුවේ වර්ග කිලෝමීටර 10ක පමණ ප්‍රදේශයක රැස්කර තබා ගනිමින් එම ජලය ප්‍රයෝජනයට ගෙන පානීය ජල සම්පාදන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. එම යෝජනාව සම්බන්ධයෙන් දැනටමත් සිදු කරනු ලැබ ඇති පර්යේෂණවලට අදාළව දත්ත හා තොරතුරු ද සැලකිල්ලට ගෙන, අදාළ රාජ්‍ය ආයතන හා උතුරු පළාත් සභාවද සම්බන්ධ කරගනිමින් ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.