• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2018 අයවැය පිළියෙල කිරීම සඳහා වන සාර්ව - රාජ්‍ය මූල්‍ය රාමුව
- කාර්යසාධනය මත පාදක වූ අයවැයකරණය සඳහා මධ්‍යකාලීනව ක්‍රමානුකූලව යොමු වන අන්දමට වැඩසටහන් පිළියෙල කිරීම සඳහා ‘ශුන්‍ය පාදක අයවැයකරණ (Zero Based Budgeting) ක්‍රමවේදය’ 2016 හා 2017 යන වසරවලදී යොදා ගන්නා ලදී. 2018 ජාතික අයවැය 'කාර්යසාධනය මත පාදක වූ අයවැයකරණ' ක්‍රමවේදය මත සකස් කිරීම පිණිස අවශ්‍ය පියවර ගනිමින් සිටී.

ඒ අනුව, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කරනු ලබන '2018 -2020 මධ්‍යකාලීන සාර්ව - රාජ්‍ය මූල්‍ය රාමුව' පුනරාවර්තන වියදම් වඩාත් අර්ථාන්විත ලෙස ගැළපීම, ප්‍රාග්ධන වියදම් ප්‍රමුඛතා ගත කිරීම, රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම යන ප්‍රධාන සාධකයන්ගෙන් සමන්විත වේ. ඒ අනුව, වර්ෂ 2020 වන විට පහත සඳහන් ඉලක්කයන් සපුරා ගැනීමට අපේක්ෂා කරනු ලැබේ.

i රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 16.5%ක් දක්වා ඉහළ නැංවීම.

ii රජයේ පුනරාවර්තන වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 14.8%කට ගෙන ඒම.

iii රාජ්‍ය ආයෝජනය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.3%කට ගෙන ඒම.

iv අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5%ක් දක්වා අඩු කිරීම.

v රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදනයෙන් 70%කට අඩු කිරීම.

එම ඉලක්කයන් සාක්ෂාත් කරගැනීම මඟින් තනි ඉලක්කමක මට්ටමේ උද්ධමන වේගය රඳවා ගැනීමටත්, මධ්‍යකාලීන ආර්ථික වර්ධන වේගය 6% - 7% මට්ටමේ පවත්වාගෙන යාමටත් ඉඩකඩ ලැබෙනු ඇත. එහිදී ආයෝජන ආකර්ෂණය කරගැනීම පිණිස අදාළ අංශවල ධාරිතාව සැලකිය යුතු මට්ටමකින් පුළුල් විය යුතු බැවින් ඉදි කර, ක්‍රියාත්මක කර, පැවරීම (Build, Operate & Transfer) වැනි ක්‍රමවේදයන් ද ඇතුළුව රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘති කෙරෙහි වැඩි අවධානයක් යොමු ‍කෙරෙනු ඇත.

එසේම නව ව්‍යාපෘති සඳහා අයවැය ප්‍රතිපාදන වෙන් කිරීමේදී සමාජ ආර්ථික අවශ්‍යතා මෙන්ම මධ්‍ය හා දිගුකාලීන ඉලක්කයන්ද සැලකිල්ලට ගෙන ප්‍රමුඛතා පදනම මත ප්‍රතිපාදන වෙන් කර දෙනු ඇත. විශේෂයෙන්ම මෙහිදී කාර්යසාධක දර්ශක (KPIs) පදනම් කර ගැනෙනු ඇත.

දැනමටත් ප්‍රකාශයට පත් කර ඇති බදු ප්‍රතිපත්ති රාමුව තවදුරටත් ක්‍රියාවට නංවනු ඇති අතර බදු ආදායම් එකතු කිරීම ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අපේක්ෂා කෙරේ.

ඒ අනුව, 2018-2020 මධ්‍යකාලීන අයවැය රාමුවට අනුකූලව කාර්යසාධනය මත පාදක වූ අයවැයකරණය මත 2018 වසර සඳහා ජාතික අයවැය පිළියෙල කිරීමටත්, රජයේ ප්‍රමුඛ වැඩසටහන් සැලකිල්ලට ගනිමින් 2018 වර්ෂය සඳහා රේඛීය අමාත්‍යාංශ වෙත අයවැය සීමා නියම කිරීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.