• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හදිසි ආපදා අවස්ථාවන්හිදී විපතට පත් ජනතාව රැඳවීම සඳහා දිස්ත්‍රික්ක 25හි රැඳවුම් මධ්‍යස්ථාන ඉදි කිරීම
- හදිසි ආපදා අවස්ථාවකදී ඒ පිළිබඳ පූර්ව දැනුම් දීම් සිදු කළ වහාම බලපෑමට ලක් වන අදාළ ප්‍රදේශවල පදිංචි ජනතාව ඉවත් කර රැඳවුම් මධ්‍යස්ථානවල තාවකාලිකව පදිංචි කරවීම මඟින් ඔවුන්ට ආරක්ෂාව ලබා දීමටත්, අවශ්‍ය අනෙකුත් සහන කාර්යක්ෂමව ලබා දීමටත් හැකියාව ලැබේ. ආගමික ස්ථාන සහ පාසල් ගොඩනැඟිලි දැනට තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන වශයෙන් බහුලව භාවිත කරනු ලබන අතර ඒවායේ පහසුකම් ප්‍රමාණවත් නොවීමත්, පාසල් ගොඩනැඟිලි යොදා ගැනීම පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට අහිතකර ලෙස බලපෑමත් හේතුවෙන් ඕනෑම ආපදා අවස්ථාවකදී ප්‍රයෝජනයට ගත හැකි පොදු රැඳවුම් මධ්‍යස්ථාන දිස්ත්‍රික් මට්ටමෙන් ඉදි කිරීමට යෝජනා වී ඇත.

ඒ අනුව, ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි, එකවර පුද්ගලයින් 100ත් 200ත් අතර සංඛ්‍යාවක් ‍රැඳවිය හැකි රැඳවුම් මධ්‍යස්ථාන 100ක් 2018 - 2020 කාලසීමාව තුළ දිවයින පුරා ඉදි කිරීමටත්, ආපදා සහන කඳවුරු ලෙස එම මධ්‍යස්ථාන භාවිත නොකෙරෙන කාලසීමාවන්හිදී එකී ගොඩනැඟිලි හා සම්පත් ඵලදායී ලෙස පරිහරණය කිරීම සඳහා ක්‍රමවේදයක් සැකසීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.