• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බස්නාහිර කලාපය තුළ ජනනය වන නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා දිගු කාලීන විසඳුම් - පුත්තලම, අරුවක්කාළු සනීපාරක්ෂක කසළ බිම් පිරවුම් ව්‍යාපෘතිය
- කොළඹ නගරය තුළ දෛනිකව ඒකරාශී වන මෙට්‍රික්ටොන් 1,200ක් පමණ වන ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ දිගුකාලීන විසඳුමක් වශයෙන් එම අපද්‍රව්‍ය නියමිත පරිදි ඇසුරුම් කර අඩි 20 බහාලුම් මඟින් කැලණියේ සිට පුත්තලම, අරුවක්කාළු ප්‍රදේශය වෙත දුම්රිය මඟින් ප්‍රවාහනය කර හුණුගල් ලබාගැනීම සඳහා කැණීම් කර අත්හැර දමා ඇති ආකර ප්‍රයෝජනයට ගනිමින් ඉදි කිරීමට නියමිත සනීපාරක්ෂක බිම් පිරවුමකට (Sanitary Landfill) සුරක්ෂිත අයුරින් බැහැර කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ සහ වයඹ පළාත් පරිසර අධිකාරියේ මූලික පාරිසරික පරීක්ෂණ වාර්තා ලබාගැනීම පිණිස කටයුතු කරමින් පවතින අතර එකී වාර්තා ජුලි මස අවසන් වන විට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉන් අනතුරුව ව්‍යාපෘතියේ මූලික මෙහෙයුම් කටයුතු මාස 06-08ක් තුළ ආරම්භ කිරීමට අපේක්ෂා කරනු ලැබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් සැපයීමට ලෝක බැංකුව විසින් මූලික වශයෙන් එකඟ වී ඇත. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම පිණිස ජාතික ප්‍රසම්පාදන මා‍ර්ගෝපදේශ ප්‍රකාරව 'සීමිත ජාත්‍යන්තර තරඟකාරී' සහ 'සීමිත දේශීය තරඟකාරී' ලංසු කැඳවීමටත්, යෝජිත ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණය ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් අරුවක්කාළු ඉඩමින් අත්පත් කරගැනීමටත්, එහි මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම් ඉදි කිරීම සඳහා අවශ්‍ය ඉඩම් හා දේපළ අත්පත් කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව, සීමාසහිත සියාම් සිටි සිමෙන්ට් (ලංකා) පෞද්ගලික සමාගම ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා පැවැත්වීම පිණිස අදාළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව වෙත බලය පැවරීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.