• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමය ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රමයට හඳුන්වා දීම
- සමස්ත රාජ්‍ය වියදම්වලින් 20% - 25% අතර ප්‍රමාණයක් වැය වනුයේ රාජ්‍ය අංශය සඳහා භාණ්ඩ හා සේවා ප්‍රසම්පාදනය කිරීමට වන බැවින් රාජ්‍ය අංශයේ ප්‍රසම්පාදන කටයුතු ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සැලකිය යුතු අංශයක් වේ. වර්තමාන ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු ඇගයීම සඳහා දීර්ඝ කාලයක් ගත වීම, විනිවිදභාවය හා තරගකාරිත්වය අඩුවීම ආදී අඩු පාඩු හේතුවෙන් විවිධ ගැටලුවලට මුහුණ පෑමට සිදු වන අතර එය රටේ ආර්ථික සංවර්ධනය කෙරෙහි සෘජුවම බලපානු ලබයි.

'විද්‍යුත් රාජ්‍ය ප්‍රසම්පාදනය - ජයග්‍රහණ, අවස්ථා හා අභියෝග' යන තේමාව යටතේ අතිගරු ජනාධිපතිතුමා සහභාගි වූ 2017 පෙබරවාරි මස 20 දින සිට 23 දින දක්වා කොළඹදී හා මහනුවරදී පැවැති දකුණු ආසියානු කලාපීය ප්‍රසම්පාදන සමුළුවේදී ශ්‍රී ලංකාව හැර අනෙකුත් බොහෝ දකුණු ආසියානු රටවල් විසින් විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමවේදය භාවිතා කරන බවත්, එමඟින් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගෙන ඇති බවත් හෙරළිදරව් වී ඇත. නවීන තාක්ෂණය භාවිතය, ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ පවතින ඇතැම් දුර්වලතා අවම කරගැනීමට යොදා ගත හැකි බැවින් ප්‍රසම්පාදන ක්‍රියාවලියද ඒ අනුව ප්‍රතිනිර්මාණය කර විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමවේදයන් හඳුන්වා දීම යෝග්‍ය බව පෙනී ගොස් ඇත.

ඒ අනුව, රාජ්‍ය විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමවේදය රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ ක්‍රියාත්මක කිරීමටත්, ජාතික ප්‍රසම්පාදන කොමිසමේද එකඟතාව සහිතව ඒ සඳහා සුදුසු ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම පිණිස රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් හා අනෙකුත් ආදළ ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත නිලධාරි කමිටුවක් පත් කිරීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.