• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නැ‍ඟෙනහිර කොළඹ (මුල්ලේරියාව) මූලික රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය සහ සමාකරණ මධ්‍යස්ථානය (Simulation Center) ඉදි කිරීම
- පහසුවෙන් ලඟා විය හැකි, ඉහළ ප්‍රමිතියකින් යුත් රෝගී සත්කාරක සේවාවක් ලබා දීම මඟින් හදිසි අනතුරු හේතුවෙන් සිදු වන මරණ සහ ආබාධිතවීම් වළක්වාගැනීමේ අරමුණින් නැ‍ඟෙනහිර කොළඹ (මුල්ලේරියාව) මූලික රෝහලෙහි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය සහ සමාකරණ මධ්‍යස්ථානයක් (Simulation Center) ස්ථාපනය කිරීමට යෝජනා වී ඇත. මෙම ඒකකය ඉදි කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම පිණිස ජාතික තරඟකාරී ලංසු කැඳවනු ලැබ ඇති අතර ඒ සඳහා ලංසුකරුවන් 13 දෙනෙකු ඉදිරිපත් වී ඇත.

එකී ලංසු ඇගයීමට ලක් කරන ලද තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Link Engineering (Pvt) Ltd. වෙත අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.