• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආපදා අවදානම අවම කිරීම හා ප්‍රතිචාර දැක්වීම සඳහා පළාත් පාලන ආයතනවල සහාය ලබා ගැනීම
- ආපදා තත්ත්වයන්ට මුහුණ දීමේ අවදානම අවම කිරීම සඳහා පළාත් පාලන ආයතනවලට වැදගත් කාර්යභාරයක් පැවරෙන බව ජාතික ආපදා කළමනාකරණ ප්‍රතිපත්තිය මඟින් පිළිගනු ලැබ තිබේ. සියලුම සංවර්ධන කටයුතු සැලසුම් සඳහා පළාත් පාලන ආයතනවල අනුමැතිය ලබා ගත යුතු අතර, තම පළාත් පාලන බල ප්‍රදේශ තුළ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවලට ආපදා අවදානම් අවම කිරීමේ ක්‍රමවේද ඇතුළත් කළ හැකි වන සේ අතුරු ව්‍යවස්ථා සකස් කිරීමට විධිවිධාන ජාතික පළාත් පාලන ප්‍රතිපත්තිය මඟින් සලසා ඇත. එබැවින් ආපදාවලට ගොදුරුවිය හැකි ප්‍රදේශවල සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී සහ ඉදි කිරීම් කටයුතු සිදු කිරීමේදී නියමිත ගොඩනැඟිලි ප්‍රමිතීන් හා අදාළ උපදෙස් භාවිතා කිරීම ඉතා වැදගත් වේ.

පළාත් පාලන ආයතන පාලනය කිරීමේ හා අධීක්ෂණය කිරීමේ බලතල පළාත් සභා වෙත පැවරී ඇති බැවින්, ආපදා කළමනාකරණ පනත යටතේ නිකුත් කර ඇති මාර්ගෝපදේශ අනුව අදාළ පළාත් පාලන බල ප්‍රදේශ සඳහා ආපදා කළමනාකරණ සැලැස්මක් සකස් කිරීමට එක් එක් පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරුන්ට සහාය ලබා දීමටත්, ඒ සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ සහාය ලබාගැනීමටත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.