• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ අනුග්‍රහයෙන් ඉදි කරනු ලබන ගොඩනැඟිලි සඳහා ආපසු බදු දීමේ OPEX මොඩියුලය යොදා ගැනීම (Lease Back OPEX Module)
- රටේ ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනයවීමත් සමඟ රාජ්‍ය අංශය සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් අවශ්‍යතාවද ක්‍රමයෙන් වැඩි වී ඇත. රජයට අවශ්‍ය ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා 2016 දී රුපියල් බිලියන 21.4ක් ද 2017 දී රුපියල් බිලියන 16.3ක් ද වැය කර ඇති අතර ඒ හේතුවෙන් ප්‍රමුඛතා සංවර්ධන වැඩසටහන් සඳහා අරමුදල් යෙදවීමට ඇති හැකියාව සීමා වී තිබේ. මෙයට විසඳුමක් ලෙස ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති ආපසු බදු දීමේ ආකෘතිය (Lease Back Module) යටතේ රජය විසින් ඉදිරිපත් කරනු ලබන පිරිවිතරයන්ට අනුව ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා රජයට අයත් ඉඩම් පෞද්ගලික ආයෝජකයින්ට බදු පදනම මත ලබා දීමටත්, ඉදි කරනු ලබන ගොඩනැඟිල්ල එකඟ වූ කාලයක් සඳහා කුලී පදනම මත රජය විසින් භාවිතා කිරීමටත්, එහිදී ඉඩම සඳහා පෞද්ගලික ආයෝජකයා විසින් රජයට‍ ගෙවිය යුතු බදු මුදල රජය විසින් ගොඩනැඟිල්ල සදහා ගෙවිය යුතු බදු මුදලට හිලව් කිරීමත් සිදු වන බැවින් එය රජයට වාසිදායක තත්ත්වයක් වනු ඇති අතර මෙම ක්‍රමවේදය මඟින් රජයේ අරමුදල් ප්‍රවාහයට සිදු වන බලපෑම ඉතා අඩු වනු ඇත. ඒ අනුව, රජයට අවශ්‍ය ගොඩනැඟිලි ඉඩකඩ සපුරා ගැනීම සඳහා රාජ්‍ය - පෞද්ගලික සහයෝගිතා යන්ත්‍රණය හරහා මූල්‍ය ප්‍රවාහය සලසා ගැනීමේ ප්‍රයත්නයක් ලෙස 'දේපළ ආපසු බදු දීමේ සංවර්ධන ආකෘතිය' යොදා ගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.