• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගයෙන් බලපෑමට ලක් වූ දිස්ත්‍රික්කවල ආදර්ශ සහ උදා කළ ගම්මාන පිහිටි ප්‍රදේශවලට පිරිසිදු පානීය ජලය සැපයීම
- නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ආදර්ශ සහ උදා කළ ගම්මාන සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකාවේ සියලු දිස්ත්‍රික්කවල සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින අතර මෙම වැඩසටහන යටතේ නිවාස සැපයීමේදී හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගයෙන් පීඩාවට පත්ව ඇති රෝගීන් සිටින පවුල් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ලැබේ.

මෙම නිවාස වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන ඇතැම් ප්‍රදේශවල පිරිසිදු පානීය ජල සැපයුමක් නොමැති වීම සහ පවතින ජල සම්පාදන වැඩසටහන් ප්‍රමාණවත් නොවීම නිසා ගැටලු පැන නැඟී ඇත. ඒ අනුව, හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය නිසා පීඩාවට පත් දිස්ත්‍රික්ක 11ක ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘති සඳහා අවශ්‍ය පානීය ජල සැපයුම් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණය කරමින් කඩිනමින් ලබා දීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.