• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ප්‍රජාමූල සංවිධාන බලගැන්වීම හා නියාමන යාන්ත්‍රණය විධිමත් කිරීම
- ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 90%කට පමණ පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට පහසුකම් ඇති අතර, එයින් 46%ක් සිය පානීය ජල අවශ්‍යතාවන් නළ ජල සැපයුම් මඟින් සපුරාගනු ලබයි. නළ ජල සැපයුම් අතුරින් 35%ක් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ද ඉතිරි 11%ක ප්‍රමාණය ප්‍රජාමූල ජල ව්‍යාපෘති මඟින් ද සපුරාලනු ලැබේ. ප්‍රජාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ජල සම්පාදන ව්‍යාපෘති සම්බන්ධයෙන් පැන නඟින ගැටලු නියාමනය හා නිරාකරණය සඳහා රජය මැදිහත්වීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන ජාතික ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුව 2014 වර්ෂයේදී ස්ථාපිත කෙරිණි. ඒ අනුව, ග්‍රාමීය ජනතාව සඳහා ජලය සපයන ප්‍රජාමූල සංවිධාන එම දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කිරීමටත්, එම ප්‍රජාමූල සංවිධාන නියාමනය කිරීම සඳහා ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා ජාතික මට්ටමින් 'ප්‍රජාමූල මෙහෙයුම් සම්බන්ධීකරණ සංසද' පිහිටුවීමටත් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද අතර මේ සම්බන්ධයෙන් ප්‍රජාමූල සංවිධාන නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2017 ජුනි මස 20 සිට 23 දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවට අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගන්නා ලදී.