• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වැඩිදියුණු කළ එළවළු බීජ නිෂ්පාදනය ඉහළ නැංවීම පිණිස ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා බංග්ලාදේශයේ සීමාසහිත ලාල්ටියර් බීජ සමාගම සමඟ ඒකාබද්ධව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
- කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ද පෞද්ගලික අංශයේ ආයතන කිහිපයක් ද බීජ නිෂ්පාදන කටයුතුවල යෙදෙන නමුත්, රටේ දේශගුණයට ගැළපෙන වැඩිදියුණු කළ බීජ අවශ්‍යතාවන් සම්පූර්ණයෙන් සැපයීමට එම ආයතනවලට හැකියාවක් ලැබී නොමැති බැවින් බීජ විශාල ප්‍රමාණයක් ආනයනය මඟින් සපුරා ගනු ලබයි. මෙම ගැටලුවට පිළියමක් වශයෙන් උසස් මට්ටමින් බීජ නිෂ්පාදනය කරනු ලබන, ඒ සඳහා පර්යේෂණ හා සංවර්ධන හැකියාව ඇති, බංග්ලාදේශයේ ස්ථාපිත සමාගමක් වන සීමාසහිත ලාල්ටියර් බීජ සමාගම සමඟ ඒකාබද්ධ ව්‍යාපෘතියක් මහඉලුප්පලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතන පරිශ්‍රයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් එම සමාගම විසින් යොදවනු ලබන අතර, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය ඉඩම ලබා දිය යුතු වේ. ව්‍යාපෘතිය සඳහා දෙපාර්ශ්වය සතු තාක්ෂණික දැනුම හා ජාන සම්පත් යොදවා ගනු ලැබේ. ඒ අනුව, අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමටත්, යෝජිත ඒකාබද්ධ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පිණිස බලය පැවරීමටත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.