• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගංවතුර හා නායයෑම් මඟින් විපතට පත්වූවන් සඳහා සහන සැලසීම
- ගංවතුර හා නායයෑම්වලින් මියගිය සිය පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් සහ විවිධ අයුරින් විපතටපත් පුද්ගලයින් වෙත අමාත්‍ය මණ්ඩලය විසින් සිය කනගාටුවත් මෙම අසීරු අවස්ථාවේ ක්‍රියාකාරීව මැදිහත්වූ මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරින්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු සියලුම අංශ වෙත රජයේ කෘතඥතාවය පළ කරන ලද අතර ඒ පිළිබඳව පහත තීරණ වලට එළඹීමට තීරණය කරන ලදී:

(i) ගංවතුරෙන් අවතැන්වූවන් වෙනුවෙන් පිසූ ආහාර ලබා දීමට එක් අයෙකු වෙනුවෙන් දිනකට වෙන් කරනු ලබන රුපියල් 225/-ක උපරිම මුදල මෙම ආපදා තත්ත්වය සඳහා රුපියල් 300/- දක්වා වැඩි කිරීම.

(ii) මෙම වර්ෂය තුළදී අමාත්‍යවරුන්ගේ භාවිතය සඳහා සහ අමාත්‍යාංශවල භාවිතය සඳහා අලුතින් වාහන මිල දී ගැනීම වහාම අත්හිටුවීම.

(iii) මෙම ආපදාව හේතුවෙන් හානියට පත් වූ නිවාස හා වෙනත් ගොඩනැඟිලි ශ්‍රී ලංකා යුද හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය මඟින් අලුත්වැඩියා කර දීම සඳහා වැඩපිළිවෙළක් යෙදීම.

(iv) සහන ලබා දීම සඳහා විදේශ රටවලින් ලැබෙන මූල්‍යාධාර මෙම ආපදාවෙන් හානි වූ නිවාස ඉදි කිරීම සඳහා යෙදවීම.

(v) 2017 අයවැය මඟින් සංවර්ධන ව්‍යාපෘති සහ වෙනත් කටයුතු සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන, නැවත ප්‍රමුඛතාගත කිරීම මඟින් යෝජිත ප්‍රතිසංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම සඳහාත් ආපදා නිසා හානියට පත් ගොඩනැඟිලි හා අනෙකුත් ප්‍රාග්ධන වත්කම් පුනරුත්ථාපනය සිදු කිරීම පිණිස යෝග්‍ය ක්‍රමවේදයක් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් පහත අමාත්‍යවරුන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීම:

* ගරු මංගල සමරවීර මැතිතුමා,
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය;

* ගරු රවි කරුණානායක මැතිතුමා,
විදේශ කටයුතු අමාත්‍ය; සහ

* ගරු කබිර් හෂිම් මැතිතුමා,
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය.

(vi) මෙම ආපදාව නිසා හානියට පත් නිවාස හා යටිතල පහසුකම් පුනරුත්ථාපනය සඳහා දායක වන පෞද්ගලික අංශයට ලැබෙන බදු සහන පිළිබඳව පෞද්ගලික අංශය දැනුවත් කරන ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දීම.