• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය නිලධාරින් සඳහා නිල නිවාස පහසුකම් සැපයීම - කොළඹ දිස්ත්‍රික්කය
- කොළඹ දිස්ත්‍රික්කය තුළ රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් පිහිටා ඇති අතර ඒවායේ සේවය කරන සැලකිය යුතු නිලධාරින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටත පදිංචිකරුවන් බැවින් ඔවුහු රාජකාරි නිල නිවාස අපේක්ෂා කරති. දැනට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය සතු රජයේ නිල නිවාසවලින් යම් ප්‍රමාණයක් රාජ්‍ය සේවයේ විධායක නිලධාරින්ට හා සේවා අවශ්‍යතාව මත වෙනත් නිලධාරින්ට ලබා දී ඇතත් අමාත්‍යාංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වැනි නිලධාරින්ට නිල නිවාස ලබා දීමේදී එවැනි නිවාසවල පවතින හිඟය ගැටලුවක්ව පවතී. මේ සඳහා පිළියමක් වශයෙන් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයට අයත් කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි මීට පෙර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා කාර්යාලය පවත්වාගෙන යන ලද ඉඩමේ හෙක්ටයාර 0.284ක ඉඩම් කොටසක මහල් 08ක නිවාස 49 කින් යුත් නිල නිවාස ඉදි කිරීමේ ව්‍යාපෘතියක් සැලසුම් කර ඇති අතර එය මේ වර්ෂයේදී ආරම්භ කර 2019 වසර අවසානය වන විට නිම කිරීමට අපේක්ෂිතය. අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 2017-2019 කාල සීමාව තුළ මහා භාණ්ඩාගාරයෙන් ලබාගැනීමටත් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.