• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කසළ බැහැර කරන ස්ථානවල වන අලි ගැවසීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම
- අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම පරිසරයට මෙන්ම වන සතුන්ට ද අයහපත් අන්දමට බලපා ඇත. විශේෂයෙන්ම වනජීවි කලාප තුළ කසළ බැහැර කෙරෙන ස්ථාන 54ක් පමණ තිබෙන බව හඳුනාගෙන ඇති අතර, වන අලින් 300කට අධික ප්‍රමාණයක් ඒ අවට ගැවසෙන බව ද වාර්තා වී ඇත. එම වන අලි කසළ ආහාරයට ගැනීමට හුරුවීම හේතුවෙන් එම සතුන්ගේ ජීවිතවලට බලවත් තර්ජනයක් මතු වී ඇත. ඒ අනුව, මෙම තත්ත්වයට විසඳුමක් ලෙස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය එක්ව, වන සතුන් බහුලව ගැවසෙන ප්‍රදේශ සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින් කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩපිළිවෙළක් සැලසුම් කර ක්‍රියාත්මක කිරීමටත්, විවෘතව කසළ බැහැර ‍කෙරෙන ස්ථානවලට වන අලින්ට ඇතුළු වීමට නොහැකි වන පරිදි තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය විසින් නිසි ස්ථානවල විදුලි වැට ඉදි කිරීමටත් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.