• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත (262 වන අධිකාරය) සංශෝධනය කිරීම
- පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත (262 වන අධිකාරය) සංශෝධනය කිරීමට අදාළ නීති කෙටුම්පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දෙනු ලැබ ඇති අනුමැතිය අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කරන ලද පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් විසින් අධ්‍යයනය කරනු ලැබ ඇති අතර, මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද කරුණු ද සැලකිල්ලට ගෙන අවසන් කෙටුම්පත සකස් කර ඇත.

යෝජිත පනත් කෙටුම්පතේ යම් යම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 ව්‍යවස්ථාවේ (අ) අතුරුවිධානය පරිදි පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර කැමැත්ත මත සම්මත විය යුතු බව නීතිපතිවරයා විසින් පෙන්වා දී තිබීම හේතුවෙන් ඒ පිළිබඳව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරින්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් හා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරින් එක්ව සාකච්ඡා කිරීමෙන් අනතුරුව, පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කරගැනීමට හැකි වන ආකාරයට නැවත කෙටුම්පත් කර තිබේ.

තවද බහු සභික කොට්ඨාස සඳහා අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් පෙන්වා දෙනු ලැබ ඇති කරුණු සැලකිල්ලට ගෙන සිදු කළ යුතු සංශෝධන නීති කෙටුම්පත් සම්පාදක මඟින් කෙටුම්පත් කරවා ගෙන කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පතට ඇතුළත් කෙරෙනු ඇත. ඒ අනුව, අදාළ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති කරුණු පදනම් කරගෙන නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කරනු ලබන වැඩිදුර සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඇතුළත් කිරීමටත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.