• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉල්ලුම් පාර්ශ්වීය බලශක්ති කළමනාකරණ ජාතික වැඩසටහන යටතේ අඩු විදුලි පරිභෝජනයක් සහිත නිවාස ඒකක වෙත ආලෝක විමෝචන ඩයෝඩ විදුලිපහන් (LED Lamps - Light Emitting Diode Lamps) ලබා දීම
- විදුලි පරිභෝජනය සඳහා වන ඉල්ලුම අඩු කිරීම මඟින් බලශක්තිය කළමනාකරණය පිණිස රජය විසින් වැඩි අවධානයක් යොමු කරනු ලැබ ඇති අතර, ඒ සඳහා වන පියවරක් වශයෙන් අඩු විදුලි පරිභෝජනයක් සහිත පාරිභෝගිකයින් අතර කාර්යක්ෂම විදුලි බුබුළු භාවිතය ප්‍රචලිත කිරීම සඳහා සහන ණය ක්‍රමයක් යටතේ LED බල්බ බෙදා හැරීමට යෝජනා වී ඇත. ඒ අනුව, අඩු විදුලි පරිභෝජනයක් සහිත නිවාසවල භාවිත කරනු ලබන අධික විදුලිබලයක් වැය වන විදුලි බල්බ ඉවත් කර ඒ වෙනුවට පොලී රහිත වාරික 24කින් මාසික විදුලිබිල් ගාස්තුව සමඟ අය කරගත හැකි ක්‍රමවේදයක් යටතේ LED බල්බ ලබා දීමට යෝජනා කර තිබේ. ඒ යට‍තේ මසකට විදුලි ඒකක 1 - 30 අතර ප්‍රමාණයක් භාවිත කරන නිවසකට LED බල්බ 02ක් ද, ඒකක 30 - 60 අතර ප්‍රමාණයක් භාවිත කරන නිවසකට LED බල්බ 03ක් ද, මසකට විදුලි ඒකක 60 - 90 අතර ප්‍රමාණයක් භාවිත කරන නිවසකට LED බල්බ 04ක් ද වශයෙන් ලබා දීමටත්, එම කාර්යය සඳහා අවශ්‍ය වන විදුලි බල්බ දසලක්ෂයක් ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා මිල දී ගැනීමටත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.