• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉඩම් ලබා දීම
- 2020 වර්ෂය වන විට මිලියන 4.5ක සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාව වෙත පැමිණීමේ ඉලක්කය සාක්ෂාත් කරගැනීම රජයේ අපේක්ෂාවයි. එහිදී ප්‍රාදේශීය වශයෙන් සංචාරක ගමනාන්තයන් සංවර්ධනය කරමින් ඒ හා බැඳුණු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම වැදගත් වේ. සුවිශේෂ පාරිසරික පද්ධතියකට හා සමුද්‍රීය සම්පත් රැසකින් සමන්විත අලංකාර මුහුදු තීරයකට උරුමකම් කියන කල්පිටිය ප්‍රදේශය දෙස් විදෙස් සංචාරකයන් රැසකගේ ආකර්ෂණයට බඳුන්ව ඇති අතර, සංචාරක සංවර්ධනය සඳහා එම ප්‍රදේශයේ ඉහළ විභවතාවක් පවතී. එසේ වුවද එම ප්‍රදේශයේ දැනට පවතින හෝටල් හා අනෙකුත් සංචාරක පහසුකම් ඉහළ මට්ටමේ සංචාරකයින්ගේ අවශ්‍යතා ඉටු කිරීම පිණිස ප්‍රමාණවත් නොවේ. එබැවින් එම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය හා බැඳුණු ක්‍රියාකාරකම් හා පහසුකම් සංවර්ධනය කිරීම සඳහා කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි හෙක්ටයාර 56.35ක භූමි ප්‍රමාණයකින් යුත් ඉඩම් කැබලි 05ක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වෙත පවරා දීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.