• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 45 වන වගන්තිය සංශෝධනය කිරීම(සාමදාන විනිශ්චයකාරවරුන් පත් කිරීම)
- 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 45 වන වගන්තියේ විධිවිධාන පරිදි යම් කලාප, දිස්ත්‍රික්ක හෝ කොට්ඨාස සඳහා සමාදාන විනිශ්චයකාරවරුන් පත් කිරීමේ බලය අධිකරණ විෂය භාර අමාත්‍යවරයා වෙත පැවරී ඇත. ඒ අනුව එකී තනතුරට පත් කරනු ලබන තැනැත්තන්ගේ පදිංචිය සලකා බලා උචිත පරිදි යම් අධිකරණ කලාපයක හෝ දිස්ත්‍රික්කයක හෝ කොට්ඨාසයක සේවය කිරීමට හැකි වන පරිදි සමාදාන විනිශ්චයකාරවරුන් පත් කරනු ලැබේ. එහෙත් කලින් කලට අධිකරණ කලාප වෙනස් කිරීම හේතුවෙන් සිය අධිකරණ කලාපය හඳුනාගැනීම ප්‍රායෝගික වශයෙන් දුෂ්කර බව නිශ්චිත අධිකරණ කලාපයක් සඳහා පත් කරනු ලැබ ඇති සමාදාන විනිශ්චයකාරවරුන් විසින් අධිකරණ අමාත්‍යාංශය වෙත දැනුම් දෙනු ලැබ තිබේ.

මෙම කරුණු සලකා බලා යම් අධිකරණ කලාපයකට, හෝ කොට්ඨාසයකට සමාදාන විනිශ්චයකාරවරුන් පත් කිරීම වෙනුවට පරිපාලන දිස්ත්‍රික්ක සඳහා සමාදාන විනිශ්චයකාරවරුන් පත් කිරීම වඩා ප්‍රායෝගික හා යෝග්‍ය බවට හඳුනාගෙන ඇත. ඒ සඳහා විධිවිධාන සැලසීමේ අරමුණින් 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 45 වන වගන්තිය සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.