• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බස්නාහිර කලාපය තුළ නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා දිගුකාලීන විසඳුම්
- බස්නාහිර කලාපයේ නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා දිගුකාලීන විසඳුම් සෙවීමේ කාර්යභාරය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇත. කොළඹ මහ නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක වීම සහ කොළඹ වරාය මූල්‍ය නගරය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමත් සමඟ වසර 2030 වන විට තවත් කසළ මෙට්‍රික් ටොන් 1,300ක් පමණ අතිරේකව දෛනිකව එකතු වනු ඇතැයි පුරෝකථනය කරනු ලැබ තිබේ. ඒ අනුව, නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට අදාළව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ආරම්භ කරනු ලැබ ඇති පහත සඳහන් ව්‍යාපෘති හා සැලසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* මීතොටමුල්ල කසළ කන්ද සම්බන්ධයෙන් යුද හමුදාවේ සහාය ඇතිව දැනට කරගෙන යනු ලබන කටයුතු මාස 05ක් තුළ අවසන් කිරීම සහ එම ස්ථානය නාගරික වන උයනක් ලෙස සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම;

* දැනට ආරම්භ කර ඇති සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර ඇති කසළ බැහැර කිරීමේ ව්‍යාපෘති සඳහා මූලික පාරිසරික ඇගයීම් ක්‍රියාවලිය අනුගමනය කරමින් පාරිසරික අනුමැතීන් ලබා දීමට පියවර ගන්නා ලෙස මධ්‍යම පරිසර අධිකාරියට බලය පැවරීම;

* කසළ වර්ගකර බැහැර කිරීම සඳහා ජනතාව පෙළඹවීම සහ වර්ගීකරණය කරන ලද කසළ පමණක් ඒ සඳහා වෙන් කරන ලද මධ්‍යස්ථානවලට ප්‍රවාහනය කිරීම;

* පවුල් 50,000ට වැඩි සංඛ්‍යාවක් වෙසෙන පළාත් පාලන ආයතන විසින් ඔවුන්ගේම කසළ බැහැර කිරීමේ හා පිරිසැකසුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීමට පියවර ගැනීම;

* මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ් ආයතනය එක්ව කසළ මඟින් විදුලිය ජනනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම;

* පුත්තලම, අරුවක්කාරු කසළ බැහැර කිරීමේ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ පිහිටි විදේශ දූත මණ්ඩල මඟින් විදේශ රජයන්ගෙන් ව්‍යාපෘති යෝජනා ලබාගැනීම;

* කැලණිය, කසළ හුවමාරු මධ්‍යස්ථානය ඉදි කිරීමට අවශ්‍ය ඉඩම් කොටස ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය වෙත පැවරීම;