• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයක් සහිත මෞත්‍ර -ලිංගික ප්‍රතිකාර ඒකකය (Urological Unit) ඉදි කිරීම
- ශ්‍රී ලංකා ජාතික රෝහලේ මෞත්‍ර-ලිංගික ශල්‍ය ඒකකය 1955 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර මුත්‍රා ගල්, පුරස්ථි ග්‍රන්ථි හා සම්බන්ධ රෝග, මෞත්‍ර - ලිංගික පද්ධතිය ආශ්‍රිත පිළිකා, කාන්තාවන්ගේ මුත්‍රාශය හා සම්බන්ධ ගැටලු, ආදී රෝග හා ගැටලු 50කට අධික සංඛ්‍යාවක් සඳහා මෙහි දී ප්‍රතිකාර කරනු ලැබේ. මාළිගාවත්තේ වකුගඩු බද්ධ කිරීමේ ඒකකය පිහිටුවීමට පෙර මෙම ඒකකය මඟින් වකුගඩු බද්ධ කිරීම්ද සිදු කරන ලදී. වර්තමානයේ මෙම ඒකකය තවදුරටත් අලුත්වැඩියා කළ නොහැකි ඉතා පැරණි ගොඩනැඟිල්ලක පවත්වා ගෙන යනු ලබන බැවින් එම ඒකකය අවශ්‍ය පහසුකම් සහිතව වෙනත් සුදුසු ගොඩනැඟිල්ලක කඩිනමින් ස්ථාපිත කළ යුතුව ඇත. ඒ සඳහා දැනට පවතින තනි මහල් ගොඩනැඟිල්ල ඉවත් කර මහල් තුනකින් යුත් නව ගොඩනැඟිල්ලක් රුපියල් මිලියන 150ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීම සඳහා අනුග්‍රහය දැක්වීමට ඊ.ඒ.එම්.මැලිබන් ටෙක්ස්ටයිල්ස් පෞද්ගලික සමාගම එකඟතාව පළ කර ඇත. ඒ අනුව, නවීන පහසුකම් සහිතව ඇඳන් 80 - 100 ප්‍රමාණයක් හා ශල්‍ය දැඩි සත්කාර ඒකකයක් ද සහිතව මෙම ඒකකය ස්ථාපනය කිරීම සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම පිණිස එකී අනුග්‍රාහක ආයතනය සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.