• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික මාර්ග ආරක්ෂණ කොමිසම ස්ථාපනය කිරීම
- මාර්ග අනතුරු හේතුවෙන් සිදු වන ජීවිත හා දේපළ හානිය අවම කිරීම වර්තමානයේ ශ්‍රී ලංකා මුහුණ දෙන ප්‍රබල අභියෝගයකි. මෝ‍ටර් වාහන පනත යටතේ ස්ථාපනය කරන ලැබ ඇති මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව දැනට මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ඇති එකම යන්ත්‍රණය වේ. එහෙත්, මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු සංකීර්ණ තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගැනීමේදී මේ සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන නිසි වගකීම් හා බලතල සහිත කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම වඩාත් සුදුසු බව වෙනත් රටවල්වල අත්දැකීම් මඟින් පැහැදිලි වී තිබේ. ඒ අනුව, ජාතික මාර්ග ආරක්ෂණ කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම සඳහා 2010 වසරේදී අනුමැතිය ලබා දී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කෙරී නොමැත. දිනෙන් දින ඉහළ යන මාර්ග අනතුරු අවම කරගැනීමටත්, නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ ගුණාත්මක රියදුරු සේවාවක් පවත්වා ගෙන යාමටත්, ඒ සඳහා අවශ්‍ය තොරතුරු රැස් කිරීම හා දැනුම හුවමාරු කරගැනීමටත් හැකියාව ඇති බලතල සහිත රාජ්‍ය ආයතනයක අවශ්‍යතාව පැන නැඟී ඇති බැවින් මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් වන නව ආයතනයක් ලෙස 'ජාතික මාර්ග ආරක්ෂණ කොමිෂන් සභාව' ස්ථාපනය කිරීමටත්, අදාළ ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් මඟින් ඒ සඳහා පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.