• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පින්නවල අලි අනාථාගාරයේ හා සත්ත්වෝද්‍යානවල වෙසෙන අලි ඇතුන් සුදුසුකම් සහිත පුද්ගලයන් හා පූජ්‍ය ස්ථාන වෙත ලබාගැනීමේ පහසුකම් සැලසීම
- පින්නවල අලි අනාථාගාරයේ අක්කර 30ක් වූ මුළු භූමි ප්‍රමාණය තුළ වර්තමානයේ අලින් 88 දෙනෙකු රඳවා ඇති අතර මෙම සීමිත භූමි ප්‍රමාණය තුළ එම සතුන් 88 දෙනා නඩත්තු කිරීම දුෂ්කර කාර්යයක් වී ඇත. ඒ අනුව මෙම සතුන්ගෙන් යම් ප්‍රමාණයක් සුදුසුකම් සහිත පුද්ගලයන් හෝ පූජ්‍ය ස්ථාන වෙත ලබා දීමට යෝජනා වී තිබේ. ඒ අනුව, පින්නවල අලි අනාථාගාරයේ හීලෑ අලිඇතුන්ගෙන් කොටසක් නිශ්චිත කොන්දේසිවලට යටත්ව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන කමිටුවක් මඟින් තෝරා ගනු ලබන සුදුසුකම්ලත් පුද්ගලයන් සහ ආයතන වෙත ලබා දීමටත්, ඒ සඳහා වන විධිවිධාන ඇතුළත් නියෝග නිකුත් කිරීමටත් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

එසේම ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ කළමනාකරණය කරනු ලබන අලිඇතුන් සංචිතයක් මඟින් පෙරහැර සඳහා හීලා අලිඇතුන් ලබාදීමත්, හීලෑ අලිඇතුන්ගේ ලියාපදිංචිය විධිමත් කිරීම හා ආරක්ෂාව සැලසීම සඳහා නියෝග නිකුත් කිරීමත් සඳහා වූ නිර්දේශද අනුමත කරන ලදී.