• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2017 වසරේ රාජ්‍ය ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීම යටතේ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමේ සීමාව ඉහළ නැංවීම
- 2016 අංක 24 දරන විසර්ජන පනත අනුව 2017 වර්ෂය සඳහා දළ රාජ්‍ය ණය ගැනීමේ උපරිම සීමාව රුපියල් බිලියන 1,579කි. ඉන් රුපියල් බිලියන 1,129ක් දේශීය මාර්ගවලින් හා ඉතිරි රුපියල් බිලියන 450 විදේශීය මාර්ග වලින්ද ලබාගැනීමට ද සැලසුම් කර ඇත. විදේශීය ණය ගැනීම් යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 1,500ක ප්‍රමාණයක් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මඟින් ලබාගැනීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. එසේම, දේශීය ණය ගැනීම් යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 1,500ක් දක්වා ප්‍රමාණයක් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීම සඳහා 2017 ජනවාරි 10 දින අනුමැතිය ලබා දෙන ලදී. දේශීය වෙළඳපොළ තුළ පවත්නා අඩු ද්‍රවශීලතා තත්ත්වය සහ ඉහළ යන භාණ්ඩාගර බිල්පත් හා භාණ්ඩාගාර ‍බැඳුම්කර පොළී අනුපාතය සැලකිල්ලට ගෙන, මෙම වර්ෂය තුළ කල් පිරීමට නියමිත ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ද ඇතුළුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමේ සීමාව ඇමරිකානු ඩොලර් මිලියන 1,500 සිට ඇමරිකානු ඩොලර් මිලියන 3,000 දක්වා වැඩි කිරීමට මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.