• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ග්‍රාමීය කෘෂි නිෂ්පාදකයින් දිරිගැන්වීම සඳහා වන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරිත්ව වැඩසටහන (SAAP)
- ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදන ක්ෂේත්‍රයේ ආයතනික දුර්වලතා හඳුනාගෙන ඊට පිළියම් යෙදීමේ සහ අගයදාම හවුල්කරුවන් අතර පවතින සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද 'ජාතික කෘෂි ව්‍යාපාර සංවර්ධන වැඩසටහ‍ෙන්' සාර්ථකත්වය සැලකිල්ලට ගෙන, කුඩා පරිමාණ කෘෂි නිෂ්පාදකයින් ශක්තිමත් කිරීම සඳහා වන 'කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරිත්ව වැඩසටහනක්' ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සැපයීමට 'කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල, (IFAD) එකඟ වී ඇත. අඩු ආදායම්ලාභී සහ කෘෂිකාර්මික දිස්ත්‍රික්කවලට ප්‍රමුඛතාව දෙමින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය යටතේ, වසර 6ක් තුළ අඩු ආදායම්ලාභී පවුල් 57,500කට පමණ ප්‍රතිලාභ සැලසෙනු ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 105ක පමණ මුළු ආයෝජනයක් යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය ජනාධිපති කාර්යාලය මඟින් මෙහෙයවනු ලැබේ. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, ඊට අදාළ ණය කො‍න්දේසි පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට බලය පැවරීමටත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.