• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රණවිරුවන්ගේ පවුල් වෙනුවෙන් 'විරුසුමිතුරු' නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- ක්‍රියාන්විතයේ දී දිවි පිදූ හා ආබාධයට ලක් වූ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ විරුවන්ගේ පවුල්වල නිවාස ගැටලුවට විසඳුමක් ලබා දීමේ අරමුණින් ඉදිරි වසර 4 ඇතුළත නිවාස ඒකක 3,650ක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් 'විරුසුමිතුරු' නමින් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ නිවාස ඒකක 1,950ක් අලුතින් ඉදි කිරීමට හා රණවිරු පවුල්වලට අයත් අර්ධ වශයෙන් ඉදි කර ඇති නිවාස ඒකක 1,700ක වැඩ අවසන් කර දීමට අපේක්ෂිත අතර, අදාළ ප්‍රතිලාභීන් රණවිරුසේවා අධිකාරිය විසින් හඳුනා ගැනෙනු ඇත. මෙහිදී, නව නිවසක් සඳහා රුපියල් මිලියන 1.2ක් ද, අර්ධ නිවසක් සඳහා රුපියල් 500,000/-ක්ද වටිනා ගොඩනැඟිලි ද්‍රව්‍ය ලබා දීමට යෝජිත අතර අවශ්‍ය ශ්‍රම දායකත්වය ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මඟින් ලබා දෙනු ලැබේ. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය 2017 - 2020 කාලසීමාව තුළ, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ රණවිරු සේවා අධිකාරිය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.